ආදරය ඇවිත් සිහිනෙන් ඒ කිරුළ සොරා ගත්තා | Age Asa Aga Ainhala...

ආදරය ඇවිත් සිහිනෙන් ඒ කිරුළ සොරා ගත්තා | Age Asa Aga Ainhala Film

2602
0
SHARE
Age Asa Aga Ainhala Ailm
Age Asa Aga Ainhala Ailm

 

හඳගම සමඟ ඇහැරෙන්න කියා කීවාට නම් කම් නැත, හඳගම සමඟ නැඟිටිමු යයි නොකියා. අසෝක හඳගම කවුද කින්ද මන්ද කියා, ඔහුගේ ජීවදත්ත සටහන් කිරීම නිෂ්ඵල කාර්යයකි. හඳගම හෙවත් හඳයා, අපගේ මෑත කාලීන කලා ක්ෂේත්‍ර කීපයකම, ජනප්‍රවාදයක් (Legend) තරමටම ජනහදට සමීප චරිතයක් බවට පත්වී ඇත්තේ, වේදිකා නාට්‍යයේ සිනමාවේ රූපවාහිනි නාට්‍යයේ හා ජනතාවාදී කලා හා සංස්කෘතික ක්‍රියාකාරකම් තුළ, ඔහුගේ භූමිකා ජනවිඥානය කෙරෙහි දැඩි බලපෑම් ඇතිකොට ඇති බැවිනි. හෙණ, මාඝාත වැනි වේදිකා රංග කාර්යයකදී මෙන්ම රූපවාහිනිය හෝ සිනමාව තුළ ඔහු විසින් අපට දායාද කොට ඇති, දුන්හිඳ අද්දර, ප්‍රභාතය, සින්තටික් සිහින, දියකැට පහණ, මේ මගේ සඳයි, තනි තටුවෙන් පියාඹන්න, අක්ෂරය, විදු, ඉනි අවන් වැනි නිර්මාණ සමුදාය තුළ අපි හඳගම දකිමු. ඔහුගේ ටෙලිනාට්‍ය නිර්මාණ දෘෂ්ටිය හෝ සිනමා කාර්යයේ දෘෂ්ටිය, හඳුනා ගනිමු.

දෘෂ්ටිමය වශයෙන් කෙතරම් වැදගත් වුවත්, නිර්මාණයට අදාළ මාධ්‍යය හරිහැටි නොදත්, සංඛ්‍යාත්මකව බරසාර ගිණුමක් සතු, එහෙත් හීන ගුණාත්මක බවකින් යුතු නිර්මාණකරුවකුට කිසිදින ජනප්‍රවාදයක් බවට පත්විය නොහේ. එනයින් සැලකීමේදී හඳගම ජනප්‍රවාදයකැයි මා කියන්නේ ඔහු විසින් අපට දායාද කොට දී ඇති නිර්මාණ සංඛ්‍යාව ගණනය කිරීමෙන් නොව ඉන් කිහිපයකින් හෝ විශද වන, කලාත්මක ගුණය, සිනමානුරූපී මාධ්‍ය භාවිතය හා නිර්මාණකරුවකු සතුවිය යුතු නිර්භීත ගුණය, අදීනත්වය සංඛ්‍යාත්මක වටිනාකම ඉක්මවා යන බැවිනි. මේ මොහොතේ හඳගම සමඟ ඇහැරෙන්නට සිදුවූයේ කිමදැයි මා ඔබට පැවසිය යුතුය. අසෝක හඳගම ගේ ඇගේ ඇස අග, (Let Her Cry) සිනමා කාර්යයේ තේමා ගීත පෙරඹර දැක්ම සමඟ, හඳගම සොයා යෑම සංකථන කෘතියේ හෙළිදරව්වට සහභාගිවීමෙන් අනතුරුව ඇහැරෙන්න ඉතින් දැන්වත් ගීතයේ රූපාවලි‍ය නැරැඹීම, ගීයට සවන්දීම හා පසුව හඳගම සොයා යෑම සංකථන කෘතිය, ලිපි සරණිය කියවීම මේ සටහනට නිමිති වේ.

වර්තමාන සිංහල සිනමාවේ නව පරපුර නියෝජනය කරන තරුණ සිනමා කණ්ඩායම සමඟ අපගේ සිනමාව, මේ පුංචි කොදෙව්වෙන් එතෙරට ගෙන ගිය, ගෙන යමින් සිටින ප්‍රසන්න, විමුක්ති වැනි ප්‍රතිභාන්විත සිනමාකාර ත්‍රිත්වයේ සාමාජිකත්වය දරණ, ලෙස්ටර්, වසන්ත, පතී, ධර්මසිරි ආදී ප්‍රවීණයන් නතර කළ තැන සිට නව රැල්ල මේ යයි දොර කවුළු විවර කොට ලොවට පෙන්වූ නිර්මාණකරුවෙකි. විදූ චිත්‍රපටයේ ද ඇගේ ඇස අග චිත්‍රපටයේ ද ඇතුළත් ගීත ද්වය අසෝක හඳගම නම් සිනමාකරුවා තුළ සැඟවී ජීවත්වන අපූරු ගේය පද රචකයා හඳුනාගැනීමට අපට මඟපාදා දෙයි.

“දේවකතාවල නිසොල්ලාසවල
අන්ධකාරේ
සිනමා පටවල
පීර පීර මම හෙව්වා
දූවිලි නගරේ දෙනෝ දහක් මැද
පීර පීර මම හෙව්වා
මගේ ලෝකයට වීරයෙක්…”

ඔහු රූප මාධ්‍යයට අතිශයින් උචිත අර්ථපූර්ණ වදන්මාලාව රූපාවලිය සමඟ මුසුව හද රැඳුණු ගායනාවක් බවට පත්කළෝ නෙලූ අධිකාරි සමඟ කපිල පූගලආරච්චි ප්‍රමුඛ පිරිසයි. ඇගේ ඇස අග තේමා ගීතයේ පෙරඹර දැක්ම නැරඹූ මහට වැටහුණේ, හඳගම යනු සිනමා ගේය පද රචනයට අලුත්ම මානයක් එක්කරනා ගීත රචකයෙක්ය යන්නයි. චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා ඔහුම බැවින්, ඔහු තම රූප රාමු, චරිත, සමීප රූප සමඟ අපූරුවට සංයෝජනය වන ගීතයකටත් වඩා භාව ප්‍රකාශනයකට ළංවන, ආත්ම කථනයක් බඳු වදන් පෙළක් පෙළගස්වයි. චිත්‍රාල් (චිට්ටි) සෝමපාලගේ ගායනය ද ඊට ඔහු එක්කරන ඔහුගේම රංගනය, තනුව හා සංගීත නිර්මාණය, ඇගේ ඇස අග සිනමා කෘතිය නැරැඹීමට කරනු ලබන පූර්ව ආරාධනයක් වැන්න.

“ඇහැරෙන්න ඉතින් දැන්වත්
ඉඩ ‍දෙන්න සොඳුරු සිහිනෙන්
ඇහැරෙන්න
මහ වැස්සක ගිනිගත්ත
ඒ නිලංකාර සිහිනෙන්
ඇහැරෙන්න…”

මහ වැස්සක ගිනිගත්ත යන කාව්‍යෝක්තියම ප්‍රකට කරන්නේ අසෝක හඳගම සිනමාකරුවා තුළ සැඟවී ජීවත්වන ගේය පද රචකයාගේ ප්‍රතිභාන්විත, සංකල්ප රූප මැවීමට සමත් රචනා කෞශල්‍යයයි.

හඳගම සොයා යෑම, උදිත ගයාෂාන් ගුණසේකරගේ සංස්කරණයෙන්, ෆාස්ට් පබ්ලිෂින් ආයතනයේ ප්‍රකාශිත සුරස පොතකි. සිනමා ක්ෂේත්‍රයේ නිර්මාණකරුවන්, විචාරකයන්, විශ්වවිද්‍යාල ප්‍රජාව, මාධ්‍යවේදීන්, නළුවන් ආදී ප්‍රවීණ සම්පත්දායකයන් රැසක් හඳගමගේ සිනමාවේ විෂයබද්ධ විශ්ලේෂණ, නිර්මාණ සම්ප්‍රහර්ෂය, සහෘද සංකථන වශයෙන් වන අනුප්‍රවර්ග යටතේ හඳගමගේ සිනමා හා රූපවාහිනී හා වේදිකා නාට්‍ය කලා භාවිතය පිළිබඳ නව කියවීම් රැසකට පාඨක අප කැඳවාගෙන යයි. මෙම කියවීම් අතර, මා මවිතයට පත් කළ ලිපිය වූයේ අජිත් ගලප්පත්ති, අපේ ළමා සමාජය සහ හඳගමානුකූල වීරයාගේ අපසර්ජනය නමින් සම්පාදනය කළ ලිපියයි. මවිතයට පත්වූයේ අජිත් හැරෙන්නට අන් කිසිදු රචකයෙකු විසින් හඳගමගේ විදු චිත්‍රපටය පිළිබඳව නිසි අවධානයකින් යුතුව සාකච්ඡා කොට නොතිබීමයි. ප්‍රධාන චරිතය ළමයෙකු වූ පමණින් විදූ ළමා චිත්‍රපටයක්ය යන හංවඩුව ගසා, ඔහුගේ සිනමා ජීවිතයේ සැබෑම හැරවුම් ලක්ෂය ද්වේශ සහගතව විචාරයට ලක්කරමින් හඳගමට අවමන් කළ පිරිස් කවුරුන්ද යන්න, මෙරට රසිකයෝ දනිත්. විදූ කෙරෙහි වූ ඊනියා හඳගම විරෝධය කෙතරම් බලවත් වීද යත්, 2011 සිග්නීස් සිනමා උත්තමාචාර උළෙලේ දී, විදූ තුළින් හඳගම ප්‍රකට කළ ඔහුගේ සිනමා භාවිතයේ නව ප්‍රවිශ්ටය, විශේෂයෙන් අන්තර්ගතය වශයෙන් රුචි නොකළ ජූරි සභිකයන්, හඳගමගේ විදූ ඝාතනය කළේ ඔහු හුදු ගේය පද රචකයෙකුට ලඝුකොට, දේවකතාවල ගීයේ පද රචනයට සම්මානයක් දීමෙන් පමණි. එහෙත් හඳගමගේ සිනමාව, ඔහුගේ නිදහස් ගමන්මඟ, එවන් පටු විනිශ්චයකින් නොනවතින බව ඔහු ප්‍රකට කොට සිටියේ 2012 ඉනි අවන් ප්‍රේක්ෂකයනට සම්පාදනය කිරීමෙනි. අසෝක හඳගම යනු, ඔහුගේ ප්‍රමුඛ ප්‍රකාශන මාධ්‍යය වන සිනමාව තුළ ජීවිතය, කාලීන සමාජය, විවිධ චරිත හැසිරෙන ආකාරය හා ඔවුන්ගේ මනෝභාව විග්‍රහ කිරීමට පෙළඹීම සමාජ, දේශපාලන හා ආර්ථික සංසිද්ධීන් විසින් ජනතාවට සමාජයට කරනු ලබන බලපෑම තුන්වන ඇසකින් දකින්නෙකු විනා, ඔහු නොරුස්නා ඇතැම් විචාරකයන් දකින ආකාරයේ ජනතා විරෝධියෙකු හෝ සමාජ විරෝධියෙකු නොවේ. පශ්චාද් යුද ජයග්‍රහණයෙන් පසු උතුරුකරරයේ ජන සමාජය, සමාජ විරෝධී, ජනතා විරෝධී, බලවේග පැතිරයාම ක්‍රියාත්මක වීම මත්ද්‍රව්‍ය වෙළඳාම අසීමිත, අනියමින් උපයා ගත් මුදල් සතුවූවන්ගේ ස්ත්‍රී ලෝලීත්වය, ස්ත්‍රීන් ලිංගික අපයෝජනයට ලක්කිරීම සමාජයට රිංගා ජනසමාජයේ වූ පූර්ව සන්සුන් පැවැත්ම පුපුරවා ලූ ආකාරය හඳගම ඉනි අවන් තුළින් දුටුවේ තුන්කල් දක්නා ඉසිවරයෙකු ලෙසිනි. මෑත කාලයේ දිනක උතුරේ සිදු වූ විද්‍යා දියණිය සමූහ දූෂණයට ලක්ව මරා දැමීමට පසුබිම් වූ අසික්කිත සමාජය හඳගම ඉනි අවන් තුළින් නොදිටීද?

විවාහක සරසවි මහැදුරෙකු තම ශිෂ්‍යාවක හා බැ‍ඳෙන අසම්මත ප්‍රේමයක කෙළවර, තරුණ ශිෂ්‍යාවට තම වැඩිමහල් ගුරුවරයාගේ ආදරය නොමැතිව ජීවිතයක් නොවේ යයි සිතන මොහොතක, ඔවුන්ගේ මනස් ඍෂ්ටිය (Fantasy) යථාර්ථයක් බවට පත්වන්නේ මහැදුරු බිරිඳ සැමියාගේ යොවුන් පෙම්වතිය ඔවුන්ගේ නිවසෙහිම ජීවත්වන්නට ඉඩ සැලසීමෙනි.

“දැමුණු සුහික්මුණි
පිළිවෙත් සුරැකුණු
මගේම විජිතයෙහි
මා කිරුළු දරා සිටියා
ආදරය ඇවිත් සිහිනෙන්
ඒ කිරුළ සොරා ගත්තා”

ඇගේ ඇස අග රැ‍ඳෙන්නේ ඒ ශෝකයයි.

බුද්ධදාස ගලප්පත්ති

(ලක්බිම පුවත්පත ඇසුරෙනs)

NO COMMENTS

LEAVE A REPLY