මගේ නාට්‍ය එකක්වත් මේ දිනවල වේදිකා ගත වෙන්නේ නැහැ – ආචාර්ය ජයලත්...

මගේ නාට්‍ය එකක්වත් මේ දිනවල වේදිකා ගත වෙන්නේ නැහැ – ආචාර්ය ජයලත් මනෝරත්න | Jayalath Manorathna Latest News 2015

184
0
SHARE
Jayalath Manorathna Latest News 2015
Jayalath Manorathna Latest News 2015

වේදිකාවේ, පුංචි තිරයේ සහ සිනමාවේ නිරූපිත ජයලත් මනෝරත්නයන්ගේ රංග භුමිකාවන් ප්‍රේක්ෂක මතකයේ ගැඹුරින් සටහන්ව ඇත්තේ අප්‍රමාණ වූ රූපණ ප්‍රතිභාවක අපූර්වත්වය අපට පසක් කර දෙමිනි. වේදිකාව හා ටෙලි නාට්‍යය අරභයා ඔහුගේ දායකත්වය දෙවැදෑරුම්ය. රංගන කාර්යයට අමතරව නිර්මාණවේදියෙකු ලෙසින් ද හෙතෙම එකී මාධ්‍යයන් ද්වයෙහිම සිය කුසලතාව හා අනන්‍යතාව ප්‍රකට කර තිබේ.

‘මහ ගිරි දඹ’, ‘පුත්‍ර සමාගම’, ‘තලමල පිපිලා’, ‘ගුරු තරුව‘, ‘අන්දරේලා’, ‘ලෝකය තනියායක්’, ‘මකරා’, ‘බූරුවා මහත්තයා’, ‘සෙල්ලං නිරිඳු’ වැනි වේදිකා නාට්‍ය රචනා කරමින් ඔහු ඊට රංගනයෙන් මෙන්ම නිෂ්පාදනයෙන් ද දායක විය.

‘සෙක්කු ගෙදර’, ‘රන්සිරිගේ සංග්‍රාමය’, ‘මගෙ කවිය මට දෙන්න’, ‘මහ පොළව අපෙ නොවෙයි’, ‘තුන්පත් රටාවක ලස්සන’ ‘ඊළඟට මොකද වෙන්නේ’ සහ විකාශය වීමට නියමිත ‘රිදුණු තැන් බොහොමයි’ ඔහු අධ්‍යක්ෂණය කළ ටෙලි නාට්‍ය කිහිපයකි.

මනෝ සිනමා රංගනයට පිවිසියේ 1976 වසරේ තිරගත වූ ‘තිලක හා තිලකා’ චිත්‍රපටයෙනි. සිනමාවේ විවිධ භූමිකාවන් අතර සැරිසැරුවද ඔහු ප්‍රථම වරට ප්‍රධාන චරිතයක් නිරූපණය කළේ ප්‍රදර්ශනයට නියමිත ‘සූවිසි විවරණ’ චිත්‍රපටයේය. ඉන්දියාවේ පැවැති ප්‍රථම ‘ට්තධඡතඥ ඕඪචඵජධනඥ’ ජාත්‍යන්තර සිනමා උළෙලේ හොඳම නළුවා ලෙසින් මනෝ එහිදී ‘සූවිසි විවරණ’ හරහා සම්මානයට පාත්‍රවීම විශේෂත්වයකි. එය ජෝ අබේවික්‍රම (පුරහඳ කළුවර) ජගත් චමිල (සැමීගේ කතාව) ගෙන් පසු ශ්‍රී ලාංකික රංගන ශිල්පියකු ලද එකම ජාත්‍යන්තර සම්මානය ලෙස ඉතිහාසයට එක් වේ.

ප්‍රධාන චරිතය රඟපෑ ප්‍රථම චිත්‍රපටයෙන්ම ජාත්‍යන්තර සම්මානයක් හිමි කර ගත්තා?

‘Global Biascope International Film Festivel’ එක ප්‍රථම වරටයි මේ පැවැත්වුණේ. ඒ 2014 දෙසැම්බර් මාසේ. ඉතාලි, ප්‍රංශ, ඉන්දියානු චිත්‍රපට මෙම සම්මාන උළෙල සඳහා ඉදිරිපත් කර තිබුණා. ඒ අතරින් තමයි ‘සූවිසි විවරණ’ චිත්‍රපටය වෙනුවෙන් මට මේ සම්මානය හිමි වුණේ. සිනමාවේ ප්‍රධාන චරිතයක් රඟපෑ ප්‍රථම අවස්ථාව කියලා ඔබ කිව්වනේ. ඇත්ත. විවිධ භූමිකා මම සිනමාවේ නිරූපණය කර තිබුණත් මේ ප්‍රධාන චරිතයක් රඟපෑ මුල්ම අවස්ථාව තමයි.

‘සූවිසි විවරණ’ අධ්‍යක්ෂ සරත් ධර්මසිරි තමයි මේ සම්මානය ඔබට ලබා දෙන්නට පුරෝගාමී වුණේ?

විශේෂ ස්තූතිය පුද කරන්න ඕනෑ ඔහුට. ඇත්තෙන්ම සරත්ගේ ප්‍රථම සිනමා නිර්මාණය වූ ‘භේරුණ්ඩ පක්ෂියා’ චිත්‍රපටයේත් මම භූමිකාවක් නිරූපණය කළා. ඒ අනුව තමයි ඔහු මට ‘සූවිසි විවරණ’ චිත්‍රපටයේ ‘ගණිතසාර’ ගුරුන්නාන්සේගේ චරිතය ප්‍රදානය කළේ.

බොහෝ කාලයක් ගත වූ පසුවයි ඔබට සිනමාවේ ප්‍රධාන චරිතයක් රඟපාන්න ලැබෙන්නේ. එහෙම වෙන්න හේතුව විදිහට ඔබ දකින්නේ?

සිනමාව කියන මාධ්‍යයේම තිබෙනවා ගති ලක්ෂණයක් ප්‍රධාන භූමිකාවලට තෝරා ගන්න කොට විශේෂයෙන්ම සලකා බැලෙන. දැන් කලාත්මක සිනමාවේ ජෝ අබේවික්‍රමයන් වගේ හැඩරුවක් ඊට හොඳ උදාහරණයක්. අනෙක ඉතින් අපට ගැළපෙන, අපට උචිත චරිතයක් වෙන්නත් එපායැ නේද?

නමුත් නළුවකුට එවැනි සීමාවක රැඳී ඉන්න බැහැනේ. ඔහු ඕනෑම චරිතයක් නිරූපණය කිරීමට සූදානම් අයකු විය යුතුයි?

බොහෝ විට චරිතයකට සුදුසු නළුවා හෝ නිළිය තෝරා ගන්නේ අධ්‍යක්ෂවරයානේ. අපට එහෙම ඉල්ලීමක් කරන්න බෑනේ. කොහොම වුණත් හොඳම සහාය නළුවා විදිහට මට හතර වතාවක් සම්මාන ලැබී තිබෙනවා. ඒකෙන් තේරෙනවා ඉතිං අපි ඒ පැත්ත හරියට කරලා තියෙනවා කියලා. ප්‍රධාන චරිත සඳහා තෝරා නොගැනීමට වෙන හේතුවක් නම් ඉතින් අපිට හොයා ගන්න නෑ.

සිනමා අධ්‍යක්ෂවරුන්ගෙන් ඔබට යම් අසාධාරණයක් වුණා කියා සිතනවාද?

එහෙම මට චෝදනාත්මකව කියන්න බෑ. නමුත් අධ්‍යක්ෂවරුන් මාව විවිධ චරිතවලට තෝරා ගත්තා නම් සහ මීට වඩා වැඩි අවස්්ථාවක් දුන්නා නම් මගේ තියෙන හැකියාවත් එක්ක වඩා හොඳ චරිත නිරූපණයන් හරහා ප්‍රේක්ෂකයන් හමුවට යා හැකිව තිබූ බව මා විශ්වාස කරනවා. ඒ තෝරා නොගැනීම පිළිබඳ ගැටලු නැහැ. චෝදනාවකුත් නැහැ. හැබැයි ඉතින් ලැබුණු අවස්්ථාවලින් නිසි ප්‍රයෝජනයක් ගත්තා කියා මා හිතනවා. හොඳම සහාය නළුවා ලෙසින් කිහිප වතාවක්ම සම්මාන ලැබීම ඊට උදාහරණයක්.

‘හොඳ’ යැයි සම්මත චිත්‍රපටවල පමණයි ඔබ රඟපෑවේ?

ඔව්. කිසියම් ප්‍රමිතියකින් යුතු චිත්‍රපට පමණයි මා තෝරා ගත්තේ කවදත්. ඇතැම් චිත්‍රපට ප්‍රතික්ෂේප කරන්නත් සිදු වුණා. කරපු දේවල් ගැන තෘප්තියක් තියෙනවා.

‘ප්‍රවේගය’ චිත්‍රපටයට සුවිසල් ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබෙන බව අපි දන්නවා. එහි ඔබේ චරිතය පිළිබඳ ලැබෙන ප්‍රතිචාර මොන වගේද?

ඒ චිත්‍රපටයට මම මුලින්ම කැමැති වුණේ පිටපත දකින්නත් ඉස්සර වෙලා. තරුණ, දෙමළ අධ්‍යක්ෂවරයෙක් තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ කියන ආරංචියට තමයි මම ඒ කැමැත්ත ප්‍රකාශ කළේ. ඒ නිසා මම හරියට ආසා වුණා ඒ අත්දැකීම ලබා ගන්න. හොඳ සිනමාවක් තියෙන ඉන්දියාව වගේ රටක තරුණ සිනමා අධ්‍යක්ෂවරයෙක් එක්ක මේ වගේ වාණිජ චිත්‍රපටයකට දායක වීම එක්තරා විදිහකට අපේ සිනමාවේ අර්බුදයට පිළියමක් කියලා මම කල්පනා කළා. 70 දශකයේ තිබුණ විනෝදාත්මක චිත්‍රපට නරඹන්න ප්‍රේ්ක්ෂකයෝ එදා වැල නොකැඩී ආවා. ‘ප්‍රවේගය’ චිත්‍රපටය හරහා නැවත එබඳු ආකර්ෂණීය සිනමාවකට මං පෙත් විවර වෙයි කියන විශ්වාසය මගේ සිතේ තිබෙනවා.

වේදිකාවේ ඔබ හා එකට ගැටුණු සහෝදර නළුවන් කිහිප දෙනෙකුත් ‘ප්‍රවේගයට’ රංගනයෙන් දායක වෙනවා?

ජැක්සන්, ශ්‍රියන්ත, මහේන්ද්‍ර මේ චිත්‍රපටයේ විවිධ චරිත නිරූපණය කරනවා. ඔවුන් හැමෝම වේදිකාවේ ශිල්ප හරඹ පාපු අය. එතකොට හේමාල් රණසිංහ වගේ තරුණයෙක්ගේ ආගමනය. මේ සේරමත් එක්ක එම්. සරෝව් කියන තරුණ අධ්‍යක්ෂවරයා අපේ සිත් ගත්තා. ඔහු දෙමළ අධ්‍යක්ෂවරයෙක් වුණත් මේ චිත්‍රපටය තුළ මානුෂීය සම්බන්ධතා පවත්වාගෙන යන්න, ඒ අනුව කටයුතු කරන්න අපට උපරිම අවස්ථාව ලබා දුන්නා.

ඉදිරියේදී ‘සූවිසි විවරණ’ වගේම තව ඔබ රඟපෑ චිත්‍රපට කිහිපයක්ම ප්‍රදර්ශනයට නියමිතයි?

ඔව්. සුමිත්‍රා පීරිස්ගේ ‘වෛෂ්ණාවි’, එතකොට ඉන්දික ෆර්ඩිනැන්ඩුගේ ‘හෝ ගානා පොකුණ’ ප්‍රදර්ශනයට නියමිත චිත්‍රපට දෙකක්. ඊට අමතරව ‘ඛධධථ’ චිත්‍රපටයත් ප්‍රදර්ශනය වෙන්න තියෙනවා. එහි අධ්‍යක්ෂවරයාත් නවකයෙක්. ඔහු සමීර වක්වැල්ල.

මේ බොහෝ තරුණ පිරිස්, සිනමාවේදීන් ලෙස නියත විවරණ ලබන යුගයක්. ජයලත් මනෝරත්න සිනමාවේදියෙක් වෙන්න කල්පනා කළේ හුඟක් ඉස්සර?

එහෙම කල්පනා කළානේ. ඒ එක්දාස් නවසිය අසූ ගණන්වල. මගේ නවකථාවක් ඇසුරෙන් ‘දවස තවමත් තරුණයි’ කියලා චිත්‍රපටයක් නිර්මාණය කරන්න සූදානම් වුණා. චිත්‍රපටයේ තිර නාටකය ලිව්වේ ප්‍රසන්න විතානගේ. ඒ තමයි ප්‍රසන්නගේ මුල්ම තිර නාටකය. එහි දර්ශන පෙළකුත් අපි රූපගත කළා. නමුත් ආර්ථික අපහසුතා නිසා ඒක අතරමඟ ඇණහිටියා. ආයේ කෙරුණේ නැහැ.

සිනමාකරුවෙක් වීමේ සිහිනය තවම නැතුවා නෙවෙයි?

මෙහෙමයි, ඇත්තනේම සිනමාකරුවෙක් වෙන්න ලොකු බලාපොරොත්තුවක් තිබුණා. දැන් පසුගිය කාලේ තිර පිටපතක් ගැන සාකච්ඡා කරමිනුයි හිටියේ. එකම දේ දැන් තියෙන වාතාවරණයත් එක්ක හරි අමාරුයි එහෙම දේකට අත පොවන්න. චිත්‍රපටයක් හදලා ඉවර වුණාම එතන ඉඳලා වැඩ පිළිවෙලක් තියෙනවානේ. ඒකෙ හරි අවිනිශ්චිතභාවයක් තියෙනවා. අපට පේනවා චිත්‍රපට කරපු අය, කරන අය වැටිලා තියෙන අමාරුව, කොහොමද මේක එළිදක්වගන්නේ කියලා. සිනමාව අද අනතුරක තියෙන්නේ. නිශ්චිත යාන්ත්‍රණයක් නෑ. තම තමන් කැමැති විදිහටයි ඒවා කෙරෙන්නේ කියලා තමයි අපට පේන්න තියෙන්නේ.

අද වේදිකා නාට්‍යය කලාව තුළ අපි දකින්නේ වෙනස්ම ප්‍රවණතාවක්. ගැඹුරු සමාජ දැක්මකට වඩා හුදු හාස්‍ය රසයක් ඉස්මතු කරන්න තමයි බොහෝ නාට්‍යකරුවන් උත්සාහ දරන්නේ?

ඔව්.

ද දැන් මේ නාට්‍යවල නම් පවා වෙනස්නේ. ‘මල් වඩම් අනවශ්‍යයි’, ‘බල්ලොත් එක්ක බෑ’, ‘බකමූණා වීදි බසියි’, ‘කෑම ලෑස්තියි’ ‘ගුටිකෑමට නියමිතයි’ වගේ නම් සහිත අලුත් නාට්‍ය සංස්කෘතියක් ගොඩනැගිලා තියෙනවා. එතකොට මේ වේදිකා නාට්‍යය කලාවේ උන්නතිය වෙනුවෙන් දරදිය ඇදපු ඔබ වැනි ශිල්පියකුට වත්මන් රැල්ල ගැන මොකද හිතෙන්නේ?

අවුරුදු හතළිහක්, හතළිස් පහක් පුරා මම මේ ක්ෂේත්‍රයේ ඉන්නවා. ලෝකයේ දියුණු රටවල් රැසක මම ඇවිදලා තියෙනවා. ඒ රටවල නාට්‍යය නරඹලා තියෙනවා. විවිධ නාට්‍ය සංස්කෘතීන් දැකලා තියෙනවා. නමුත් ලංකාවේ නාට්‍යය බොහෝ විට නිර්මාණය වෙන්නේ සමාජ, ආර්ථික, දේශපාලන හේතු නිසා. නැතිව නාට්‍යකරුවන්ගේ හුදු අවශ්‍යතාවයන්ට නෙවෙයි. අපි හිතමු ‘සාජන්ට් නල්ලතම්බි’ වගේ නාටය්‍යක් බිහි වුණේ කොහොමද? නල්ලතම්බි රැල්ල කියලා අපි කියනවා. ඒ එදා හිටපු පාලකයන්ගේ අවශ්‍යතාවය. ඒ ඔවුන්ගේ තිබුණු රස වින්දන මට්ටම. දෙමළ මනුස්සයෙක් වරද්ද, වරද්දා සිංහල කතා කරන කොට අපි හිනා වෙනවා. ඉතිං ඒකේ විපාකනේ අද අපි මේ දකින්නේ නේද?

එවකට තිබූ පාලන තන්ත්‍රය හිතාමතාම එවැනි නාට්‍ය රැල්ලක් සමාජගත කරන්නට උත්සහ කළා කියාද ඔබ කියන්නේ?

ඇත්ත වශයෙන්ම. 77 න් පස්සේ තමයි මේක වුණේ. මොකද බහුභාණ්ඩික සමාජයක, ඒ කියන්නේ භාණ්ඩ සහ මුදල් වටින සමාජයක, මිනිසාගේ වටිනාකම බිංදුවටම වැටුණා. ඒ ගැන ඉතින් ඕනෑ තරම් නිදර්ශන කියන්න පුළුවන්. ඒක අවශ්‍යය නෑ. හැමෝම දන්නවා. මිනිස්සු මෝඩයන් කරන්න, කරන්න තමන්ගේ පාලනය ලෙහෙසියෙන් කරගෙන යන්න පුළුවන් බව පාලකයෝ තේරුම් ගත්තා. එතකොට මිනිස්සු මෝඩයෝ කරන්න පුළුවන් හොඳම මග තමයි කලාව, ආගම, දර්ශනය වගේ දේවල් බොහොම පහළ තැන්වලට දැමීම. කලා කෘතිවලින් නිසරු, අධම ගනයේ වින්දනයක් ලබාදීමට උල්පන්දම් දීම. ඒක තමයි එවකට පාලකයන්ගේ උපක්‍රමය වුණේ.

අතීත හේතු ප්‍රත්‍යය එයයි?

එක්දාස් නවසිය හතළිස් ගණන්වල මාර්ටින් වික්‍රමසිංහයන් කිව්වා එයාගේ ‘සිංහල නාට්‍ය සහ සඳ කිඳුරෝ’ කෘතියේ ‘දැන් සිංහල නාට්‍යාගාරය සිනහා ස්කාගාරයක් වී ගෙන එනවා. සිංහල නාටකය සිනහ බෙදන හැන්දක් බවට පත් වී තිබෙනවා’ කියලා. ඕක තමයි අදට අපට ගළපාගන්න වෙන්නේ.

අද එය යථාර්ථයක් බවට පත්ව තිබෙනවා?

අද මේවායේ යෙදෙන අය සැබෑ නාට්‍යයකරුවෝද කියන්න මම දන්නේ නෑ. ඔවුනගේ අභිලාෂය දේශපාලන අවශ්‍යතාවයක් ඉටු කිරීම, මිනිස්සුන්ට හුදු සිනහව දීලා මෙතනින් නාට්‍ය කලාව ඉවර කරන එක. නමුත් නාට්‍ය කලාව කොච්චර ගැඹුරු, ශ්‍රේෂ්ඨ කලාවක් ද කියන එක මේ අය හොයන්න උත්සාහ දරන්නේ නෑ. ජනප්‍රියත්වය, පාර තොටේදී මූණ දැක්කම මිනිසුන් තමන් හඳුනගෙන කතා කිරීම, මේවා තමයි ඔවුන්ගේ අභිලාෂයන් බවට පත් වෙලා තිබෙන්නේ. ‘ආ දැන් සේරම හරි’ කියලා හිතන තැනටයි ඔවුන් අද පත්ව සිටින්නේ.

එතකොට නාට්‍යයකරුවන්ටත් මේ චෝදනාව යම් පමණකට එල්ල වෙනවා නේද?

ඔව්, ඉතින්. ඔවුන්නේ මේවා කරන්නේ. නාට්‍යයකරුවෝ කරන නිසා මිනිස්සු බලනවා. දැන් අද මෙහි තිබෙන අනතුර අසංක, ලංකාවට විතරක් නෙවෙයි ශ්‍රී ලාංකික ප්‍රේක්ෂක ජනතාව ඉන්න වෙනත් රටවලටත් ලොකු බලපෑමක් එල්ල කරනවා. ඒ රටවලට ගිහින් නාට්‍යය පෙන්නලා අපි හොඳ රසික පිරිසක් හැදුවා. නමුත් අද ඉන්නේ දෙන්නයි, තුන්දෙනයි නාට්‍යයක රඟපාන්න. හුදු සිනහව මුල් කරගත් නාට්‍ය තමයි අද විදේශ රටවල ගොඩක් වෙලාවට රඟ දක්වන්නේ. ඒ රසඥතාව බිඳ වැටීම කියන එක එහෙත් ඔවුන් බෝ කරනවා. ඉතින් හරිම අවාසනාවන්ත ඛේදවාචකයක් විදිහට තමයි මම මේක දකින්නේ.

එතකොට මහා නාට්‍ය සම්ප්‍රදායක ආභාසය ලැබූ, එය ගුරුකොට තකන ඔබ වැනි නාට්‍යකරුවකුට අද සිදුවෙලා තියෙන්නේ හුදකලා සටනක නිරත වෙන්න?

හරියටම හරි, ඔබේ කියමන මම පිළිගන්නවා. මොකද මහාචාර්ය සරච්චන්ද්‍ර, දයානන්ද ගුණවර්ධන, සුගතපාල ද සිල්වා, හෙන්රි ජයසේන, මේ ගොල්ල ගෙනාපු මේ විදග්ධ, ලෝකය පිළිගත්ත නාට්‍ය ධර්මය දැන් අද වෙනකොට සුනු විසුණු කරලා, හපකරලා අවරතැනකට ගෙනත් තියෙනවා. අතේ ඇඟිලිවලටත් අඩු කීප දෙනෙක් පමණක් නියම නාට්‍ය රසය පුරවැසියන්ට ලබාදෙන්න ලොකු සටනක නියැළෙනවා.

නමුත් ඒ කුලකයට වැටෙන ඔබ පවා කිසියම් උකටලී ස්වභාවයකින් තමයි කටයුතු කරන්නේ?

ඔව්, අසංක මේ ජනවාරි මාසේ සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා මගේ එකම නාට්‍යයක්වත් වේදිකා ගත වෙන්නේ නෑ. මේක මේ මුදල් එක්ක කරන සටනක් නේ. අපට ඒ සටනට මුහුණ දෙන්න බෑ. අපි හරියට මුදල් අය කරනවානම් විශාල මුදලක් ගන්න ඕනෑ අපේ මිනිස්සුන්ට ගෙවන්න. තුට්ටුවට, දෙකට මේවා හරියට සරුවත් විකුණන්නා වගේ බෙදාගෙන, බෙදාගෙන යන අයත් ඉන්නවා. ඒ තත්ත්වයට වැටෙන්න අපට බෑ.

දැන් දයානන්ද ගුණවර්ධන වේදිකාවේ ඉඳන් සිනමාවට ආවා. එතකොට ජයන්ත චන්ද්‍රසිරි, ප්‍රසන්න විතානගේ වැනි කලා ශිල්පීන්. වර්තමානයේ අපට හමුවෙනවා ඉන්දික ෆර්ඩිනැන්ඩු ‘හෝ ගානා පොකුණ’ චිත්‍රපටයේ අධ්‍යක්‍ෂවරයා. මේ ආගමනය ඔබ දකින්නේ කොහොමද එහි ප්‍රමුඛ භූමිකාවක් රඟදක්වන නළුවෙක් හා ප්‍රවීණ නාට්‍යවේදියෙක් හැටියට?

අපි කලා මාධ්‍යයන් කීපයක් ගැනණේ මේ කතා කරමින් ඉන්නේ. ඕනෑම කලා මාධ්‍යයක අරමුණ විය යුත්තේ විනෝදාස්වාදය සැපයීම සහ මිනිස්සුන්ට අපි ප්‍රදානය කරන අලුත් අත්දැකීම. අලුත් දැනුම, අපි කියනවා නිම්වළලු ප්‍රසාරණය කිරීම කියලා.

ආනන්දයෙන් ප්‍රඥාව කරා එළැඹීම?

ඔව්, මේවා තමයි අරමුණු වශයෙන් අපි දකින්නේ. එතකොට ඔබ සඳහන් කළ නම් ලැයිස්තුව බැලුවොත් ඔවුන් ඉතාම මැනවින් වේදිකා නාට්‍ය මාධ්‍යය ප්‍රගුණ කරලා, ඒ අත්දැකීම් ලබලා තමයි සිනමාවට ආවේ. එය වෙනම මාධ්‍යයක්. ඔවුන් එහි යම්, යම් පර්යේෂණ කරනවා. ඒකෙ අත්දැකීම් ලබනවා. සිනමාවේ වැඩකරලා, ඒ ගැන පොත, පත කියවලා, හොඳ චිත්‍රපට නරඹලා, සාකච්ඡා සම්මන්ත්‍රණවලට සහභාගි වෙලා තමයි ඊළඟට නිර්මාණකරණයට පිවිසෙන්නේ. පළමුවැනි නිර්මාණය අසාර්ථක වුණා වෙන්නට පුළුවනි. ඒත් ඔවුන් ගේ ආධ්‍යාසය අපට පේනවා. මේ විකුණන්න හරි, ජනපි‍්‍රය වෙන්න හරි කරපු වැඩක් නෙවෙයි සිනමා මාධ්‍යය හඳුනාගෙන ඒ ඔස්සේ කරපු නිර්මාණ කියලා. වරිතමානයේ වේදිකාවට වඩා සිනමාවේ ඉතාම හොඳ නිර්මාණ බිහිවෙනවා. ඒත් ඒවා මිනිස්සුන්ට දකින්න අවස්ථාවක් නෑ.

එතකොට දැන් ටෙලි නාට්‍ය කලාව ගත්තත් මනෝ අයියා කරන්නේ කිසියම් උඩුගං බලා පිහිනීමක්. බාල, අවරගණයේ, එකාකාරී ටෙලි නාට්‍ය රැල්ලක් තමයි අද අපි දකින්නේ. එතනදිත් ඔබ මම හිතන්නේ යම් විප්ලවීය වෙනසකට මුලපුරනවා සහ එය යාවත්කාලීන කරනවා?

රූපවාහිනිය අපේ රටට ආපු කාලයේ මමත් ඊට සම්බන්ධ වුණා. හොඳ, යහපත්, ගුණාත්මක නිර්මාණවලට. නමුත් අද ටෙලි නාට්‍ය කලාව තිබෙන්නේ ව්‍යාපාරිකයන් අතේ. කලාකරුවා අතේ නෙවේ. එතකොට ව්‍යාපාරිකයාගේ අරමුණ මොකක්ද? ලාභය, ආදායම. ඒ සඳහා අවශ්‍ය පසුබිම තමයි ඔවුන් සකස් කරන්නේ. අඩු පිරිවැයකින්, ඉතාම ලාභදායී විදිහට, හදිසියේ, දඩිබිඩියේ තමයි ඔවුන් මේවා නිෂ්පාදනය කරන්නේ. නළු, නිළියන්ට පුහුණු වෙන්න වෙලාවක් නෑ. චරිත හඳුනාගන්න වෙලාවක් නෑ. නිකං කුණු බඩු විකුණනවා වගේ පට පට ගාලා මේක කරගෙන යනවා.

ඉතාම ඛේදනීය තත්ත්වයක්?

අපි දකිනවා මේවාට සම්බන්ධ වෙන පිරිස්, නළු, නිළියන් වෙන්න පුළුවන්, වෙනත් ශිල්පීන් වෙන්න පුළුවන්. ඔවුන්ට වෙලාවක් නෑ මේක හදාරන්න. එහෙම මේවා කරන්න බෑනේ. වඩු බාස් කෙනෙකුටත් පුහුණුවක් අවශ්‍යයිනේ. අද අපි දකින්නේ නැහැ එහෙම දෙයක්. හෙට උදේ එන්න කිව්වාම කැමරාව ඉස්සරහට ගිහින් රඟපානවා. රංගනය කියන එක, රූපණය කියන එක ගැඹුරු විෂයක්. එය හදාරන්නට අද වෙලාවක් නෑ. ඒ නිසා තමයි බාල අවරගණයේ ටෙලි නාට්‍ය මුදලට විකිණෙන්නේ.

ආචාර්ය අමරදේවයන් වරෙක මා සමඟ පවසනවා සකල කලාවේම උපත ‘කවිය’යි කියලා. එතකොට ඔබ හොඳ කවියෙක්. එක පැත්තකින් කවි රචනා කරනවා. තව පැත්තකින් ඒවා මිහිරි ලෙස ගායනා කරනවා. මේ කවීත්වය කොහොමද ජයලත් මනෝරත්නයන්ට සෙසු කලාංගයන් සමාජගත කිරීමේදී පිටුබලයක් වුණේ?

දැන් අසංක මෙහෙමයි. පෙරදී කවියා කියන වදන තමයි අපි පාවිච්චි කළේ කලාකරුවා හඳුන්වන්නට. පෙරදිග සම්ප්‍රදායේදී කවියා කියන්නේ කලාකරුවාට. අද නම් වෙනම අර්ථයකින් කවිය කියන එක අපි භාවිත කරන්නේ. ගායනා කරන්නේ. නමුත් කවිය කියන්නේ, සාහිත්‍යය, ග්‍රන්ථකරණය, එතකොට මේ භාෂාව පිළිබඳ තිබෙන දැනුම උඩ තමයි සෙසු කලාංගයන් ගොඩ නැඟෙන්නේ. සිනමාව, වේදිකා නාට්‍ය පවා. දැන් ආචාර්ය අමරදේවයන් කවිය කියා හඳුන්වන්නේ නාදය. ඒ කියන්නේ රිද්මය. මේ රිද්මය පිළිබඳ මහගම සේකර කවීන්ද්‍රයාණන් කියනවා ජීවිතයේ හැම දෙයක්ම රිද්මයක් කියලා. ලෝකයේ හැම දේකම රිද්මයක් තියෙනවා.

රිදම් එකක්?

ඔව්, මේ හැම එකකම රිදම් එකක් තියෙනවා. දැන් පොල් අත්තක් ගත්තොත් ඒක බෙදිලා තියෙන්නේ එක්තරා රටාවකට. හුස්ම ගන්නා රිද්මය. මිනිසෙක් ඇවිදින රිද්මය. වැසි වතුර වැටෙන රිද්මය, හදවත ගැහෙනා රිද්මය, මේ රිද්මය හඳුනා ගැනීම කලා නිර්මාණයකදී ඉතාම වාසි සහගතයි. කවිය කියන්නේ රිද්මය පිළිබඳ හැඟීම, භාෂාව, මේ හැම දෙයක්ම.

මට මතක් වෙනවා. ‘අන්දරේලා’ නාට්‍යයේ ඔබ ගායනා කරන ඉමිහිරි කවි. බණ්ඩාර ඇහැලියගොඩගේ කවි රචනාවන්, ඉතාමත් ඉමිහිරි ලෙස, භාවයන් කුළු ගැන්වෙන අයුරින් ඔබ ගායනා කරනවා. කවි කියනවා නෙවේ. ගායනා කරනවා. කොහොමද මේ විශිෂ්ට ගායන හැකියාව ඔබ තුළට කාන්දු වෙන්නේ?

ගායනය නම් ඉතින් උපතින් තරමක් දුරට තියෙන්න ඇති. සීයට දශම ගාණක්. විශේෂයෙන්ම සරච්චන්ද්‍රයන්ගේ නාට්‍යවලින් තමයි අපි පටන් ගත්තේ මේ ගමන. එතකොට මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය හැම එකක්ම කවි ගායනාවලින් පෝෂිතයි. හැම නාට්‍යයකම ගායනා තිබුණා. ඉතින් අනිවාර්යයෙන්ම අපට ගායනය පුහුණු වෙන්න සිද්ධ වුණා. ඒක ප්‍රගුණ කරගන්න සිද්ධ වුණා. ඒක නිසා අපට මුල ඉඳලම ඒ හැකියාව පාවිච්චි කරන්න වුණා. පාඨමාලා කරලා හරි විද්‍යාලයකට ගිහිල්ලා හරි ඉගෙන ගත්තේ නැතත් සංගීතය පිළිබඳ අත්දැකීමෙන් ලද ඥානය අපට තිබුණා.

ඔබේ ගායන හැකියාවන් වඩාත් පරිපාකයට පත් වෙන්නේ ඔබ එළි දක්වන්නට බලාපොරොත්තු වන ස්වතන්ත්‍ර ගී නිර්මාණ ඇතුළත් ඔබේ සංයුක්ත තැටියෙන්?

මගේ ස්වතන්ත්‍ර ගීත සහිත සංයුක්ත තැටියක් තමයි එළි දැක්වෙන්නේ. ඒකේ නම “මන්දගාමී පෙම්වතා”යි. රත්න ශ්‍රී, කොබවක, ධම්මික බණ්ඩාර, මස්ඉඹුල තමයි ගීත රචනා කළේ. ආචාර්ය රෝහණ වීරසිංහ, නවරත්න ගමගේ, ජානක ෆොන්සේකා, ඩෙනිස්ටර් පෙරේරා, රංජිත් බාලසූරිය ඇතුළු සංගීතඥයන් පිරිසක් මෙහි තනු නිර්මාණයෙන් මට දායක වුණා.

එතකොට මේ මන්දගාමී පෙම්වතා කවුද. ඔබද?

මේක ධම්මික බණ්ඩාර ලියපු ගීතයක් ඇත්තටම

ආ අපේ වියපත් බඹරා?

වියපත් බඹරා. අන්න හරි.

තවත් සුවිශේෂ කටයුත්තකට ඔබ මුල පුරා සිටිනවා?

ආ…ඔව්. ආචාර්ය උපාධිය සඳහා මා ලියූ පර්යේෂණ නිබන්ධනය ග්‍රන්ථයක් හැටියට එළි දක්වන්නට මම බලාපොරොත්තු වෙනවා. මේක ටිකක් ලොකු පොතක්. “සිංහල නාට්‍යයේ ප්‍රාසංගික කලාත්මක වර්ධනය” තමයි එහි නම. වේදිකා නාට්‍ය හා රංග කලාව හදාරන විද්‍යාර්ථීන්ට මේ කෘතිය බෙහෙවින්ම ප්‍රයෝජනවත් වේවි.

වර්තමානය් අපි ඉන්නේ කලාව සහ කලාකරුවා දේශපාලනීකරණයට ලක්වූ වටපිටාවක. කලාකරුවෝ එක්, එක් පිල්වලට බෙදී තමන්ගේ දේශපාලන මතවාද ප්‍රකාශ කරන, ඒවා වෙනුවෙන් පෙනී සිටින ප්‍රවණතාවක් අපි දකිනවා. නමුත් මනෝ අයියා දේශපාලනයේදී බොහොම නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බවයි අපි දකින්නේ?

අද බොහෝ කලාකරුවන් කටයුතු කරන්නේ සහ නිරතව ඉන්නේ පක්‍ෂ දෙශපාලනය තුළ. නමුත් සැබෑ දේශපාලන කාරණාවන් ඒ හරහා ඉටුකර ගන්නට පුළුවන්ද කියන කාරණය ගැටලුවක්. බොහෝ කලාකරුවන්ට යම් දේශපාලන මතවාදයක් හෝ දර්ශනයක් තිබෙනවා. ලංකාවේ විතරක් නෙවේ ලෝකයේ බොහො කලා නිර්මාණ බිහිවෙන්නේ ඒ දේශපාලන දැක්මවල් හරහා. මම මේ කතා කරන්නේ ටිකක් උසස් ගණයේ කලා නිර්මාණ ගැන. සමස්ත ලෝකයේ, සමස්ත සමාජයේ, සමස්ත මානව වර්ගයාගේ දේශපාලනයයි එතන තියෙන්නේ. එය එක පක්‍ෂයකට, එක ජනවර්ගයකට, එක කුලයකට සීමා වූ එකක් නෙවෙයි.

පක්‍ෂ දේශපාලනය සැබෑ කලාකරුවාට තරම් නොවේ කියලද ඔබ කියන්නේ?

පක්‍ෂ දේශපාලනයේ තියෙන්නේ කොන්දේසි මාලාවක්. ප්‍රතිපත්ති මාලාවක්. එක පක්‍ෂයක එක විදිහක් තියෙනවා. තව එකක තව විදිහක් තියෙනවා. ඒ ඔස්සේ යනවා කියන්නේ අපේ දැක්මක්, දේශපාලන දෘෂ්ටිය අපි පොඩි කර ගන්නවා. පටු කර ගන්නවා. අර ඔක්කෝම එක්කනේ අපි බලන්න ඕනෑ නේද?

අනිවාර්යයෙන්ම?

එතකොට එක කොටසක් එක කුලකයකට විතරයි අයිති වෙන්නෙ. සාහිත්‍යකරුවාට, කලාකරුවාට හැම දෙනාම ආදරය කරනවා. හැම දෙනාම පිළිගන්නවා. හැම දෙනෙක්ම ඔවුන් ගැන අවධානයෙන් ඉන්නේ. එතකොට කලාකරුවෝ එක කුලකයකට ගියාම දේශපාලනයේදී අර අනෙක් කුලකයේ අය පොඩ්ඩක් විරසක වෙනවා. අමනාප වෙනවා. මතවාදීව ගැටෙනවා. ඒ නිසා මගේ මතය නම් කලා නිර්මාණවල කිසියම් දේශපාලන මතවාදයක් තිබෙනවා නම් එය පක්‍ෂ දේශපාලනයට පටු නොවිය යුතුයි කියන එක. අපි ගත්තොත් ඩොට්ටොවුස්කිලා, ටෝල්ස්ටෝයිලා, පුෂ්කින්ලා වගේ සාහිත්‍යකරුවන්. එතකොට නාට්‍යකරුවන් විදිහට බ්‍රෙෂ්ට්ලා, ආර්ටොලා, සාත්‍රේලා ගත්තත් ඔවුන්ගේ දේශපාලන මතවාදයක් තිබුණානේ. ඒ වඩාත් යහපත් ලෝකයක් තැනීම කියන කාරණය සම්බන්ධව.

එහෙම බලනකොට ඔබට පවා යම් දේශපාලන මතවාදයක් තියෙනවානේ?

ඔව්, ඇත්තටම පක්‍ෂ, පාට වෙනුවෙන් නෙවෙයි පොදු දේශපාලන මතවාද වෙනුවෙන් තමයි මම පෙනී සිටින්නේ. ඒකෙන් අදහස් කරන්නේ නෑ අවශ්‍ය තැන්වලදී කලාකරුවෙක් කියන එක අමතක කරලා සමාජ ජීවියෙක් හැටියට අපේ මතය එළි දක්වන්නේ නෑ කියන එක. අවශ්‍ය තැන්වලදී අපි ඒක ගෙනෙනවා. මට මතකයි 94 දී අපි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියට හුඟක් උදවු කළා. ඒ වගේම වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ට අපේ සහයෝගය දුන්නා පසුගිය මැතිවරණයේදී. අපි පොදුවේ බලනවා මේ යන මාර්ගවලින් කෝකද වඩාත් ප්‍රගතිශීලී සහ ජනතාවාදී කියලා. ඒ පැත්තට අපේ හෘද සාක්‍ෂියට එකඟව අපි කතා කරනවා. තාන්න, මාන්න, වරදාන සඳහා පක්‍ෂ දේශපාලනයේ නියැළීම මම නම් අනුමත නොකරන දෙයක්.

(සරසවිය පුවත්පත ඇසුරෙනි)

Jayalath Manorathna Latest News 2015

NO COMMENTS

LEAVE A REPLY