මුල් පිටුව උණුසුම් පුවත් ජීවිතය කලා පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් අතිරේකය ව්‍යාපාරික...

මුල් පිටුව උණුසුම් පුවත් ජීවිතය කලා පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් අතිරේකය ව්‍යාපාරික පුවත් විදෙස් පුවත් කුණු දැමීම තහනම් ඒත් සම්මානයක් දිනලා චන්දන හේවාපතිරණ | Chandana Hewapathirana

49
0
SHARE
Chandana Hewapathirana
Chandana Hewapathirana

රාජ්‍ය ටෙලි සම්මාන උලෙළේ අධ්‍යක්ෂණය සඳහා කුසලතා සම්මානයෙන් පිදුම් ලබන චන්දන හේවාපතිරණ ඔබ හමුවට පැමිණෙන්නේ ‘හිට්විකට්’, ‘සුදු හංසයෝ’, ‘ජීවිතය හොරු අරන්’, ‘සිහිනයක් වගේ’ නිර්මාණ මගිනි. ඔහුට මේ ලැබුණු සම්මානය පිළිබඳත්, ඔහුගේ නිර්මාණ ජීවිතය පිළිබඳත් සරසවිය ඔහු සමඟ කළ කතාබහකි.

ඔබගේ ‘මෙහි කුණු දැමීම තහනම්’ ටෙලි නාට්‍යයට පසුගිය දවස්වල සම්මානයක් හිමිවුණා. ඒ ගැන මොන වගේ හැඟීමක්ද තියෙන්නේ ?

‘මෙහි කුණුදැමීම තහනම්’ ටෙලි නාට්‍යයට ලැබුණේ මෙවර රාජ්‍ය සම්මාන උලෙළේ අධ්‍යක්ෂණය සඳහා කුසලතා සම්මානයක්. මෙහි තිබෙන විශේෂත්වය වන්නේ මා දන්නා තරමින් ලංකාවේ ටෙලි නාට්‍ය ඉතිහාසයේ යථාර්ථවාදී ප්‍රහසනයකට අධ්‍යක්ෂණයට දුන්න මුල්ම සම්මානය වීමයි. මම එහෙම කියන්නේ ලංකාවේ ප්‍රහසනවලට සම්මාන දෙන්නේ නැති නිසයි. මේක හොඳ ප්‍රවණතාවක්.

ලෝක සිනමාවේ නම් මේ තත්ත්වය වෙනස් ?

මේ වෙලාවේ මගේ මතකයට නැගෙන්නේ චාලි චැප්ලියන්වයි. ඔහුව කුඩා ළමයාගේ පටන් සියලුදෙනාම දන්නවා. උදාහරණයක් විදියට ඔහුගේ ‘මොඩන් ටයිම්ස්’ කියන නිර්මාණයෙන් කාර්මික විප්ලවය පිළිබඳයි විවේචනය වුණේ. ඒ වගේම ඔහු කළ ‘ග්‍රේට් ඩික්ටේටර්’ කියන නිර්මාණයෙන් හිට්ලර් යුද්ධය කළ විදිය හා රට පාලනය කළ විදිය විවේචනය වුණා. මේ නිර්මාණ ලෝකයම පිළි ගන්නේ යථාර්ථවාදී ප්‍රහසන ලෙසින්. එහෙත් ලංකාවේ ප්‍රහසනය කියන දෙය සලකන්නේ බොහොම පහළ මට්ටමකටයි. එහෙත් එහෙම විය යුතු නැහැ. ප්‍රහසන මගින් අපි යථාර්ථය ගැන කතා කරනවා නම් ඒක හොඳ නිර්මාණයක් ලෙසයි මා දකින්නේ.

‘හිට් විකට්’ කියන ඔබගේ කලින් නිර්මාණයත් ප්‍රහසනයක්?

මට අදටත් ‘හිට් විකට්’වලට හොඳ ප්‍රතිචාර තියෙනවා. ඉන් පෙනෙන්නේ පහළ පන්තියේ ඉඳලා ඉහළ පන්තිය දක්වා හැමෝම ඒ නිර්මාණය නරඹලා තිබෙන බවයි. ඔවුන් එවැනි නිර්මාණවලට දැඩි කැමැත්තක් දක්වනවා. එවැනි නිර්මාණවලට ඉඩක් ලැබෙනවා කියන්නේ අපේ දහඩිය මහන්සියේ ප්‍රතිඵලයි මේ එළි දැක්වෙන්නේ. ඒක විශේෂ දෙයක්. ඒ වගේම මා කළ ප්‍රහසන දෙකම සම්මාන උලෙළවලදි නිර්දේශ වුණා.

‘මෙහි කුණු දැමීම තහනම්’ ටෙලි නාට්‍යයත් ඔබ නම් කරන්නේ ප්‍රහසනයක් ලෙසයි ?

මේක යථාර්ථවාදී ප්‍රහසනයක්. මීට ලැබුණු සම්මානයත් සමඟ මම දකින දේ තමයි මොකද තවත් සම්මාන උලෙළවල් තිබුණා නේ. ඒ සමීක්ෂණ මණ්ඩලවලට මේ නිර්මාණය මගින් කිව්වේ මොකක්ද කියලා තේරුම් ගන්න නොහැකි වූ බවයි මගේ හැඟීම වන්නේ. මම එහෙම කියන්නේ ඔවුන්ගෙන් සමහරෙක් කිව්වේ මේ කතා කරලා තියෙන්නේ පාරට කුණු දමන එක ගැන බවයි. නමුත් මේ නිර්මාණයේ ඉන් එහාට ගිය දෙයක් මා ගෙනාවා.

ඒ අනුව අනෙක් ටෙලි නාට්‍යවල වගේ මේ ටෙලි නාට්‍යයේදි දඟලලා, කෑගහලා කරන කොමඩි නැහැ. සිදුවීම් හරහා තමයි හාස්‍ය උපදින්නේ. ඒ හාස්‍යයේ යම් ගැඹුරක් තියෙනවා. මිනිස්සුන්ගේ කුණු ගැනයි කතා කළේ. ඔවුන්ගේ සිත්වල තිබුණු කුණු ගැනයි කතා කළේ. තමන්ගේ ඉස්සර ගෙදර ඉන්න යාළුවා තමන්ගේ ගෙදර ළඟ කුණු දමලා යනවා, උදේට ගුඩ් මෝනින් කියලා එකට වැඩට යන යාළුවට කරන්න පුළුවන් කැත වැඩ, කුහකකම් හැම දෙයක්ම කරනවා. ඔවුන්ගේ යථාර්ථය ගැනයි මා කතා කළේ. මා කතා කළ ඒ දේ ගැන යමක් තේරුණා නම් තේරුණේ රාජ්‍ය ටෙලි නාට්‍ය උලෙළේ මණ්ඩලයට පමණක් බවයි මා නම් සිතන්නේ.

අනෙක් හාස්‍ය ටෙලි නිර්මාණවලින් ‘මෙහි කුණුදැමීම තහනම් ’ වෙනස් වෙන්නේ කොහොමද ?

මේ ටෙලි නාට්‍යයේ අපි බලෙන් සිනහ උපදවන්නේ යන්නේ නැහැ. ඔවුන් කරන ක්‍රියාවන් නිසයි නරඹන්නන්ගේ සිතේ සිනහව උපදින්නේ. ඒ විතරක් නොවෙයි මේ චරිත බොරුවට දඟලන්නේත් නැහැ. ඔවුන්ගේ මේ සෑම ක්‍රියාවකම ජීවිතයේ ගැඹුර, යථාර්ථය එළි දක්වන දේවල් තමයි මෙහි සිද්ධ වෙන්නේ. කතා කරන්නේ. ඒකයි මේක යථාර්ථවාදී ප්‍රහසනයක් වෙන්නේ. එතැනදියි ‘මෙහි කුණු දැමීම තහනම්’ නම් ප්‍රහසනාත්මක ටෙලි නාට්‍යය එවැනිම අනෙක් ටෙලි නාට්‍යවලින් වෙනස් වෙන්නේ.

ඔබ ප්‍රහසනයට මේ තරම්ම පෙම් බඳීන්නේ ඇයි ?

ප්‍රහසන නොවන ටෙලි නාට්‍ය වගේම මම ප්‍රහසනත් කරන්න කැමැතියි. මම අඩුවෙන්ම නිර්මාණය කරලා තියෙන්නේත් ප්‍රහසනම තමයි. මොකද ප්‍රහසන කරන්න බොහොම අමාරුයි. මිනිස්සුන්ව හිනා ගස්සවන්න බොහොම අමාරුයි. ‘හිට් විකට්’ කරලා අවුරුදු හතකට පස්සෙයි ඔයාලා ‘මෙහි කුණු දැමීම තහනම්’ දකින්නේ. සීරියස් නාට්‍යවලට කැමැත්තක් දක්වන්නේ එක් පිරිසක් පමණයි. එහෙත් ප්‍රහසනවලට එහෙම ලොකු පොඩි බේදයක් නැහැ. ඒ නිසා මා කැමැතියි ලංකාවේ සෑම ප්‍රේක්ෂකයෙක්ම මගේ නාට්‍ය නරඹනවට. මේ නිසා මා ඒ සෑම ප්‍රේක්ෂකයෙක්ම ග්‍රහණය කරගෙන තිබෙනවා.

මේ ගමන ආරම්භයේදී ළමා නිර්මාණවලත් ඔබ නියැළෙනවා නේද?

ඔව්. ඒ අතරින් ‘අද්භූත ලාම්පුව’ කියන්නේ මා කළ හොඳ ළමා නිර්මාණයක්. ගොඩක් ළමයි නැරැඹුව, ජනප්‍රිය වුණු ළමා ටෙලි නාට්‍යයක්. එහෙම වුණත් කිසිම රූපවාහිනි සේවාවකින් ළමා නිර්මාණවලට සහයෝගයක් දෙන්නේ නැහැ. මා දන්න විදියට ඒ නිර්මාණවලට ගෙවන මුදලත් අඩුයි. මෙන්න මේ හේතු නිසයි අද ළමා නිර්මාණ කෙරෙන්නේ නැත්තේ. එහෙම වුණත් මම ළමා නිර්මාණයක් කරන්න කැමැතියි. දැනටත් ඒ අදහස මගේ ඔළුවේ තියෙනවා.

මේ බිහිවන ළමා නිර්මාණවලට ළමයින් කැමැතිද?

අපේ රටේ ළමා නිර්මාණ බිහි වෙනවා අඩුයි. ටෙලි නාට්‍ය ගත්තත් ‘අඹ යහළුවෝ, ‘මඩොල් දූව’ වගේ නිර්මාණ කිහිපයක් පමණයි බිහි වුණේ. ඒ වගේම ජනප්‍රිය වුණේ. චිත්‍රපටවල නම් ළමා නිර්මාණ බොහොමයක් බිහිවුණා. මේ තත්ත්වය මතයි මා ‘අද්භූත ලාම්පුව කරන්න තීරණය කළේ. එය නිර්මාණය වුණේ ප්‍රබන්ධ කතාවක් විදියටයි. ග්‍රැෆික් පාවිච්චි කරලා කළ මේ නිර්මාණය පහනකින් පැමිණෙන භූතයෙක් හා ළමයි පිරිසක් වටායි නිර්මාණය වුණේ. වර්තමානය වනවිට ලෝකයේ බිහිවන ‘හැරී පෝටර්’ ඇතුළු නිර්මාණ කිහිපයක් ගත්තොත් ඒවා කරන්නේ අධික වියදම් දරලා. මේවා ග්‍රැෆික්වලින් කරන නිර්මාණ බවට පත්වෙලා. මේවා ළමයින් නරඹනවා. අපිත් නිර්මාණයක් කළොත් ඒ කිට්ටුවටවත් යන්න පුළුවන් වෙන්න ඕනෑ. ඒ විදියට කරන්න නම් වියදම් කරන්න වෙනවා ඒ විදියට වියදම් කරන්න කිසිම චැනල් එකකින් කැමැති නැහැ. මේක බොහොම ඛේදවාචකයක්. මේ ගැන තනිවම සටන් කරලා වැඩකුත් නැහැ. යමක් කරනවා නම් කරන්න වෙන්නේ රජයටයි.

අද වනවිට බිහිවුණු ළමා නිර්මාණ ගත්තොත් ඒ දෙස විමසිල්ලෙන් බලද්දී අපගේ සිතට නැගෙන ගැටලුව වන්නේ මේ නිර්මාණ බිහිව තිබෙන්නේ ළමයින් උදෙසා ද වැඩිහිටියන් උදෙසාද යන්නයි. මේ අදහස පිළිබඳ ඔබ දරන මතය කුමක්ද?

ඇත්තටම මේ බිහිවෙන නිර්මාණ කෙරෙන්නේ ළමයින් වෙනුවෙන් නොවෙයි. ඒ අතර බිහිවෙන සමහර නිර්මාණ වැඩිහිටියන්ටවත් බලන්න ඉන්න බැහැ. ඒ තරමටම ළමයින් සඳහා බිහිවන ටෙලි නාට්‍ය පහළ මට්ටමකට වැටිලයි තියෙන්නේ. අපි කිව්වොත් ඒ ටෙලි නාට්‍ය වළ පල්ලට ගිහින් කියලා ඒක නිවැරැදියි. මේ වනවිට හොඳ නිර්මාණ කරන්නේ ලංකාවේ ඉන්න අධ්‍යක්ෂවරුන්ගෙන් කිහිපදෙනෙක් පමණයි. ඒකට මා කලින් සඳහන් කළ හේතුත් ඇතුළත්. හොඳ නිර්මාණ කරන්න මුදල් අවශ්‍යයයි. අපි මේ කරන නිර්මාණ පවා කරන්නෙත් බොහොම දුෂ්කරතා මැද්දෙයි. මේ සම්මානය පවා ලැබෙන්නේ මගේ කාර්මික ශිල්පීන්ගේ ඉඳලා නළු නිළියන් දක්වාම තිබුණු කැප කිරීම මතයි. ඔවුන් සියලුදෙනාම මුදලට වඩා මුල්තැන දුන්නේ නිර්මාණයටයි. මුදල කියන දේ අත්‍යවශ්‍ය කාලයක නිර්මාණ සඳහාම ඔවුන්ට කැප වෙන්න බැහැ නේ. එහෙම කැප වුණත් කැප වෙන්නේ බොහොම කලාතුරකින් පිරිසක්. ඒ කැප කිරීම් කරන පිරිසට ඔවුන් ද එකතු වුණා.

මුදල්වලටම මුල්තැන ලබා දුන්නොත් ඉදිරියේදි මොනවගේ තත්ත්වයක් උද්ගත වේවි ද?

මේ ගැටලුව ගැන ගැඹුරින් සාකච්ඡා කළ යුතුයි. ඉදිරියේදි මිනිස්සුන්ට නරඹන්න පුළුවන් නිර්මාණාත්මක නිර්මාණ, හොඳ නිර්මාණ රූපවාහිනි නාළිකාවල නැතිවේවි. සම්පූර්ණයෙන්ම නැතිවෙලා යාවි. අපි සමහර වෙලාවට මේවා කරන්නේ අතින් වියදම් කරගෙන. එවැනි අය ඉදිරියේදී අපට අහිමි වේවි. මම ‘මෙහි කුණු දැමීම නිෂ්පාදනය කළේ මමයි. මම වගේම මගේ යහළුවෝ දෙන්නෙකුත් මේ කටයුත්තට සහභාගි වුණා. අපි ලාභයට වඩා බැලුවේ නිර්මාණය ගැනයි. එහෙම කිහිපදෙනෙක් ඇරෙන්න වෙන අය මේ ක්ෂේත්‍රයේ ඉතුරු වෙන්නේ නැහැ. එහෙම වුණොත් ඉදිරියේදි අවර ගණයේ නිර්මාණ පමණක් බිහිවේවි. කලාකරුවන්වත් එකතු වෙලා මේ කාරණයට මොකක් හෝ වැඩපිළිවෙළක් ඉදිරිපත් නොකළොත් ප්‍රේක්ෂකයන්ට නරඹන්නට වෙන්නේ මේ අවර ගණයේ නිර්මාණම පමණයි.

ඔබගේ නිර්මාණවල තිබෙන විශේෂත්වයක් වන්නේ තිරපිටපත ලියන්නේත් ඔබමයි. ඊට විශේෂ හේතුවක් තිබෙනවද?

මගේ එකම එක නිර්මාණයක් පමණයි වෙනත් කෙනෙකු ලිව්වේ. ඒකට හේතුව ලෙස මා දකින්නේ හොඳ පිටපත් නොමැතිකමයි. හොඳ පිටපතක් නැත්නම් හොඳ නිර්මාණයක් කළ නොහැකියි. පිටපතක් කියන්නේ මගේ නිර්මාණයෙන් නම් සියයට පනහක්. මම පිටපත ලියලා අවසානයි කියන්නේ මගේ නිර්මාණයෙන් සියයට පනහක් අවසානයි. ඒ විදියට සියයට පනහක් ගන්න නම් හොඳම පිටපතක් ලියැවෙන්න ඕනෑ. එහෙම පිටපත් ලියැවෙන්නේ නැහැ. ඒ නිසා මම ම පිටපත ලියනවා. සමහරු මාස තුනෙන් ලියන පිටපත මට ලියන්න මාස අටක් විතර ගත වෙනවා. ‘මෙහි කුණු දැමීම තහනම්’ කියන්නේ ඒ වගේ ලිව්ව පිටපතක්. හොඳ නිර්මාණයක් එන්න නම් කාලයක් ගත වෙනවා. ඒක මගෙන්ම වෙන්නේ ඒකයි. ඒ දේවල් සඳහා මට හොඳ අත්දැකීම් ප්‍රමාණයකුත් තියෙනවා. බොහොම හෙමින් කරුණු එකතු කරලා ඒවා විශ්ලේෂණය කරලයි මා නිර්මාණයක් ලියන්නේ. ඒවා අද ලියලා හෙට එළියට දමන ඒවා නොවෙයි. ඒ නිසයි මගේ පිටපත් වැඩිපුරම මම ලියන්නේ.

පසුගිය කාලයේ ටෙලි නාට්‍යය කරන්නන්ට සිය නිර්මාණ විකාශය කර ගැනීමට යෑමේදී විවිධ ගැටලුවලට මුහුණ දෙන්නට සිදුවුණා. ඒ අතර නිර්මාණ විකාශය කරන්නට අමතරව මුදල් දීම කියන කාරණයකුත් අපට අසන්නට ලැබුණා. ඔබටත් මීට මුහුණ දෙන්නට සිදුවුණා ද?

මේ කාරණය මට නම් බලපෑවේ නැහැ. ඉදිරියේදි කොහොම වේවිද කියලා නම් මම දන්නේ නැහැ. කොහොමත් මම කාලය අරගෙන නිර්මාණවල නියැළෙන නිසා ගොඩක් වෙලාවට අවුරුද්දට ටෙලි නාට්‍යය එකක් වගෙයි කෙරෙන්නේ. මොන ප්‍රශ්න ආවත් මමම ඒ සඳහා කතා කළා. ගොඩක් නිර්මාණ කරන අයට ඔය කියන ප්‍රශ්න තිබුණ බවට ආරංචි ආවා.

ඊළඟට ඔබගේ සිහිනය සිනමාවට අවතීර්ණ වීම ද?

මගේ කලින් නිර්මාණ නැරැඹුව බොහෝදෙනෙක් අහන දෙයක් වෙන්නේ ඇයි චිත්‍රපටයක් කරන්නේ නැත්තේ කියලා. මේ වන විට තිරරචනා දෙකක් පමණ ලියලා අවසන්. එහෙත් තවමත් කිසිම දෙයක් නොකළේ නිදහසේ යමක් කරන්නට අවශ්‍ය හොඳ නිෂ්පාදකයෙක් මුණ නොගැසුණු නිසයි. චිත්‍රපට ක්ෂේත්‍රයේ යම් ගැටලු තිබෙනවා කියලා කිව්වත් මා දකින්නේ ගැටලුව ඇත්තේ නිර්මාණකරුවන්ගේ බවයි. ප්‍රේක්ෂකයන් සිනමා ශාලාවට අරගෙන එන නිර්මාණ මේ වනවිට ලංකාවේ සිනමාව ඇතුළේ නිර්මාණය වෙන්නේ නැහැ. අනෙක් එක ඒ සඳහා ලොකු වියදම් දරන්නත් අවශ්‍ය වන්නේ නැහැ. මට අවස්ථාවක් ලැබුණොත් ඒ කටයුත්ත කරන්නේ කොහොමද කියලා ඔබට දැක ගන්නට හැකිවේවි. මට ඒ අවස්ථාව ලැබෙනතුරුයි මේ බලාගෙන ඉන්නේ. ඒක අවුරුද්දක් හෝ සමහර විට අවුරුදු දහයක් යන්නත් පුළුවන්. නිෂ්පාදකයෙක් ලැබුණොත් මගේ සිනමාවේ ආගමනය ඉක්මනින් සිදුවේවි.

(ලංකා සී නිවුස් වෙබ් අඩවිය ඇසුරෙනි)

Chandana Hewapathirana

NO COMMENTS

LEAVE A REPLY