අවුරුදු 40ක් සිනමාවේ හිටියා ඒත් කිසිම ලිපියක් පළවී නැහැ එස්.ඒ. අලගේෂන් |...

අවුරුදු 40ක් සිනමාවේ හිටියා ඒත් කිසිම ලිපියක් පළවී නැහැ එස්.ඒ. අලගේෂන් | About S A Alagesan

20
0
SHARE
S A Alagesan Photo
SA Alagesan

චිත්‍රපටයක් නිර්මාණය කිරීමට කතා ප්‍රවෘත්තියක් අනිවාර්යෙන් ම අවශ්‍ය වෙනවා. එය ලියන තැනැත්තාව කතා රචකයා නිසා හඳුන්වන්න පුළුවන්. අපේ පැරැණි සිනමාවෙන් දුටු වැඩි චිත්‍රපට සංඛ්‍යාවක් අනුකරණ කතා. එවැනි චිත්‍රපටයක කතාව සැකසූ අය කතා රචකයා ලෙස නාමාවලි ගත කරන්න කොහෙත් ම බැහැ. ඔහු එක්කෝ තිරනාටක හෝ දෙබස් රචකයා එහෙමත් නැති නම් පරිවර්තකයා පමණයි. ඊට පිළියමක් ලෙස සිනමාස් සමාගම නිෂ්පාදිත චිත්‍රපටවල කතාව සිනමාස් කතා දෙපාර්තමේන්තුව කියා යෙදුවා ඔබට මතක ඇති. මම එහෙම මතක් කර දෙන්න විශේෂ හේතුවක් තියෙනවා. එනම් මම තමා මේ වෙනකොට දෙමළ චිත්‍රපට සෑහෙන ප්‍රමාණයක් සිංහල බසට පරිවර්තනය කළ රචකයා.

එහෙත් මා ගැන කිසිම පුවත් පතක දීර්ඝ ලිපියක් පළ වී නැහැ. සින්නතම්බි ආර්මුගම් අලගේෂන් නමින් ඉපදිලා තියෙන්නෙ 1945 ජූලි 13 වැනිදා. හෙට මගේ 70 වැනි උපන් දිනය. ඒ වෙනුවෙන්දෝ මගේ ආත්ම කථනයක් පුවත්පතක පළවෙන පළමු අවස්ථාව මේක. ශාන්ත ජෝන්ස් විද්‍යාලයෙන් ඉගෙනීම කොට 1960 පාසලෙන් ඉවත්වී දෙමළ නාට්‍ය වේදිකාවට ගොඩවුණා. රඟපෑවා. කතා ලිව්වා. ලෙනින් මොරායස්ගේ නාට්‍යවලත් රඟපාන්න ලැබුණා. එතකොට ඔහු ලංකා චිත්‍රාගාරයේ වේෂ නිරූපණ ශිල්පියා. ඇත්තම කිව්වොත් ඔහුගේ මාර්ගයෙන් තමා සිනමාවට අවතීර්ණ වුණේ. ඒ අනුව මම පළමුවෙන් ම ‘මංගයර් තිලකම්’ දෙමළ චිත්‍රපට කතාව ‘සිතක මහිම’ නමින් පිටපත් කළා. එහි තිර පිටපත ලිව්වේ දෙමළ බසින්. එදායින් පස්සෙ ආර්.ආර්. චිත්‍රපට සමාගමේ සේවය කරන්න ලැබුණා. ඔවුන්ගේ ‘සුදු දුව’ චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂවරයා මම.

ඊළඟට මට සම්බන්ධ වෙන්න ලැබුණේ ඊ.ඒ.පී. චිත්‍රපට සමාගමට. එහි ප්‍රධාන කාර්යාලයේ සේවය කරන ගමන් ‘බයිසිකල් හොරා’ සිට ‘දුලීකා’ දක්වා කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරාගේ චිත්‍රපට වලට අධ්‍යක්ෂණයෙන් සහාය වුණා. 1967 සේවය ඇරඹූ ඊ.ඒ.පී. චිත්‍රපට සමාගමේ 2014 වනවිට මම වසර 47 සේවයක් සපුරා සිටියා. මේ කාලය තුළ සමාගමෙන් පිට නිෂ්පාදනවලටත් දායකවෙන්න අවස්ථාව ලැබුණා.‍

මම සහාය අධ්‍යක්ෂණයෙන් සම්බන්ධ වූ චිත්‍රපට රාශියක් තිබෙනවා. සමහර චිත්‍රපටවල මට නිසි තැන ලබාදුන්නේ නැහැ. ඒ පැත්තෙන් වැඩිම අසාධාරණය සිදු වූයේ මම තිරනාටකය දෙබස් ලියූ චිත්‍රපටවලින්. ඒවායේ නාමාවලිගතව තිබුණේ වෙන අය. කොටින් ම චිත්‍රපට සංස්ථාවෙන් අනුමත නොවූ චිත්‍රපට තිර නාටක පහක් මම නැවත ලියා අනුමත කර දුන්නා. බොහෝ චිත්‍රපටවල මට ලබාදුන්නේ කතා රචකයා කියා. එය වැරැදියි. ඒ හැම චිත්‍රපටයක්ම දෙමළෙන් සිංහලට පරිවර්තනය කොට දුන් දෙබස් සහිත තිර නාටක සාධාරණය ඉටු කළේ ‘රෑ මනමාලි’, ‘දෙවියනි සත්‍ය සුරකින්න’, ‘හිත හොඳ ගැහැනියක්’, ‘රත්තරන් මිනිහෙක්’, ‘ආදරයේ නාමයෙන්’ විතරයි. ‘රහසක් නැති රහසක්’ සිරිල් ඒ. සීලවිමල හා ‘සැනසුම’ ඒ.ජේ. ද සොයිසා සමඟ සම රචකයන් ලෙස හඳුන්වා දුන්නා.

‘රෑ මනමාලි’ සුහේර් හමීඩ්ගේ ‘අවලික්ක කෝන්දරවල්ලිනි’ නාට්‍ය කතාව. ‘සැනසුම’ කතාව රැගත් ‘ඉරු මලර් ගල්’ දෙමළ චිත්‍රපටය 1967 දී පෙන්නුවා. ‘ආදරයේ නාමයෙන්’ වැඩි කාර්මික පිරිස ඉන්දීය ශිල්පීන් වුණත් එය ශ්‍රී ලාංකික චිත්‍රපටයක් දැන් සාර්ථකව පෙන්වන ‘ප්‍රවේගය’ මගේ අලුත් ම තිර නාටකය. අනුකරණය කළේ 2007 ඉන්දියාවේ තිරගත අධි ක්‍රියාදාම ‘පොල්ලාදවන්’ චිත්‍රපටයෙන්. වෙට්ට්‍රිරාමන් ‍රචනා කරමින් අධ්‍යක්ෂණය ක‍ළ දෙමළ චිත්‍රපට කතාව රූප රාමුවෙන් රූප රාමුව මගේ තිර නාටකයෙන් කියවෙනවා. දෙබස් ලිව්වේ මම නොවෙයි.

මම කතාව දෙබස් තිර නාටකය ලියූ ස්වදේශීය දෙමළ චිත්‍රපට දෙකක් ද තිබෙනවා. හැබැයි මේ චිත්‍රපට තවම පෙන්වා නැහැ. එකක් ‍’නෙන්ජික්කු කෙරියුම්’ නමින් ප්‍රථම වරට අපේ රටේ සිනමාස්කෝප් ප්‍රමාණයෙන් තැනූ දෙමළ චිත්‍රපටය. අධ්‍යක්ෂවරයා ලෙනින් මොරායස්. මෙහි රූප ගත සිනමා පට 83 ජාතිවාදී කලබල සමයේ ගින්නෙන් දැවී ගියා. ඔය කාලයේම අනුමැතිය සඳහා ප්‍රදර්ශන පිටපත සකසා ගත් ‘ඉලෙය නීලා’ චිත්‍රපටය මහජන ප්‍රදර්ශනයට තබන්න ඉඩ ලැබුණේ නැහැ. මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා කේ. ෂන්මුගනාදන්. සම අධ්‍යක්ෂණය කරමින් ගාමිණී ෆොන්සේකා චිත්‍රපටයේ රඟපෑවේ දුෂ්ට චරිතයක්. එම චරිතයට පසුබිම් කට හඬ දුන්නේ වී. ගෝපාල ක්‍රිෂ්ණන්. ඔහු ම තමා ගාමිණී රඟපෑ ‘නීලක්කඩලින් ඕ රත්තිලේ’ දෙමළ චිත්‍රපටයෙන් පසුබිම් හඬ ශිල්පියා. ප්‍රධාන චරිතය සඳහා පැමිණි ත්‍යාගරාජන් අද ඉන්දියාවේ ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්. දීපා මලයාලම් හා සප්නා හින්දි නිළියන්. මේ දෙන්නාටම දෙමළ හඬ දුන් අනුරාධා කුඩා දැරියකගේ පටන් වයසක කාන්තාවක් දක්වා විවිධ තලවලින් හඬ දිය හැකි දක්ෂ ශිල්පිනියක්.

‘තෑන්ක් යූ බර්ටි’ චිත්‍රපටයේ දෙමළ පිටපත සඳහා මෑතක දෙබස් රචනා කෙරුවා. එය ළඟදී පෙන්නාවි. ඒ වගේ ම අදටත් මම රූපවාහිනී නාළිකාවල විකාශය කරන දෙමළ චිත්‍රපටවලට සිංහල උපශීර්ෂ පාඨ ලියනවා. මේ කටයුත්තට මුලින් ම අත තිබ්බේ ස්වාධීන රූපවාහිනිය ඔස්සේ. මේ දවස්වල ශක්ති නාළිකාවට සම්බන්ධව සිටිනවා. මේ හැරුණු කොට රාධිකාගේ ටැලන්ට් ෆැක්ටරි නිෂ්පාදිත ‘චිට්ටි’, ‘අන්නා මලෙයි’ දෙමළ ටෙලිනාට්‍ය සිංහල නරඹන්නාට සමීප කළේ මගේ උප ශීර්ෂ පාඨ. ‘සකලක බේබි’ ටෙලිනාට්‍යයේ සිංහල දෙබස් රචකයා මම.

මම මෙච්චර වෙලා කිව්වේ මගේ කලා ජීවිතය ගැන විතරයි. දැන් කියන්නම් මගේ පෞද්ගලික ජීවිතය. මගේ බිරියත් ඊ.ඒ.පී. සමාගමේ සේවය කළ කෙනෙක්. නම මායා රමණී ප්‍රනාන්දු. 1982 විවාහ වුණු අපිට ගයත්‍රී සජීවනී නමින් දුවක් හා ජනිත් ලක්විජය නමින් පුතෙක් සිටිනවා. දියණිය විවාහකයි. මගේ ලිපිනය අංක 923/2, පැරකුම් මාවත, පන්නිපිටිය පාර, බත්තරමුල්ල

(ලක්බිම පුවත්පත ඇසුරෙනs)

 

About S A Alageshan and

NO COMMENTS

LEAVE A REPLY