රන් සමනලයාගේ ප්‍රේමය දේදුන්නෙන් ආ සමනලියට පුදයි | Dilhani And Ranjan Gossips

රන් සමනලයාගේ ප්‍රේමය දේදුන්නෙන් ආ සමනලියට පුදයි | Dilhani And Ranjan Gossips

265
0
SHARE
Dilhani And Ranjan Gossips
Dilhani And Ranjan Gossips

ජ්‍යෙෂ්ඨ මාධ්‍ය‍ෙව්දී අර්නස්ට් වඩුගේ හෙළිදරව් කරන තනි යහනේ දිවිගෙවනා අපේ කලාකරුවන්ගේ රස රහස්

ජිවන ගමනේ දෛවයෝගේ වළකන රුසියා කවුරුද ලෝකේ…

මා නිතරම සඳහන් කරන මානවසිංහ සූරීන්ගේ මෙම ගීතයේ ඇත්තේ සුවිසල් යථාර්ථයකි. ඕනෑම කෙනෙකුගේ දෛවය කිසිම ජගතෙකුටවත් වළක්වාලිය නොහැක. එමෙන්ම දෛවය යනු එක් එක් අයට විවිධාකාර අයුරින් බලපාන්නෙකි. අද ලංකාවේ ජනප්‍රිය නළු කිරුළට හිමිකම් කියන ජනරංජන තරුණ දේශපාලන නායකයකු වන රන්ජන් රාමනායකගේ දෛවය නම් සැබැවින්ම මහත්ම ආශ්චර්යවත් දේ සිදුකළ එකකි. 1963 ජනවාරි මස උපන් රන්ජන් අදත් මාලබේ මන්ත්‍රී නිවාසයක හුදෙකලාව තනි යහනේ දිවි ගෙවන්නේ වී නමුදු ඔහුගේ රස දිවියට සමීප කළ රෝසමල් වැනි යුවතියන්ගෙන් නම් ඔහුට කිසිම අඩුවක් නොමැත.

රන්ජන් රාමනායක යනු යුවතියන් මන්මත් කරන අති ආකර්ෂණීය කඩවසම් පෙනුමෙන් යුතු පුද්ගලයකු නමුදු ඔහුගේ සෑම ප්‍රේම වෘත්තාන්තයක්ම පසුපස ඇති කතාන්තරය නම් කිසිසේත්ම සුඛාන්තයක් නම් වූයේ නැති තරම්ය. ඔහු අදත් තනිකඩව ජීවත් වනුයේ ආසාවකට නම් නොවන බව දන්නේ කිහිප දෙනෙක් පමණි.

ආදරය කරන විට මුළු ආත්මයෙන්ම ආදරය කිරීමට පෙලඹෙන ඔහු සැබැවින්ම තමා ආදරය කරන යුවතිය උතුම් සම්පතක් මෙන් සිතන්නේය. එසේ සිතා ඇය තමාට පමණක්ම වූ වස්තුවක් ලෙස තමා වෙනුවෙන්ම මුළු ආත්මයෙන්ම කැපවී ජීවත් විය යුතු බව සිතන්නේය. රන්ජන්ගේ මෙම ප්‍රේම වෘත්තාන්ත ශෝකාන්ත බවට පත් වනුයේ ඔහුගේ හෘද අභ්‍යන්තරයේ ඇති මෙම දැඩි ආත්මාර්ථකාමී ස්ථාවරය නිසා යැයි යමකුට සිතිය හැකිය.

‘ඒක එහෙම වෙන‍්න ඕන ද?’

‘මං මුළු හදින්ම පෙම් කරන යුවතියට මගේ හෘද ස්පන්දනය පවා දැනෙන්න ඕන. ඇය මට පමණක් කැප වෙන්නම ඕන.’

අදත් ඔහු පසු වෙනුයේ එම දැඩි ස්ථාවරයේමය.

‘එතකොට එයාට පෞද්ගලික ජීවිතයක් කියා දෙයක් නැහැ?’

‘එහෙම වෙන්න විදිහක් නැහැ.’

‘ඒක ආදරයක් වෙන්නෙ නැහැ.’

‘එහෙනම්’

‘යුග දිවිය කියන්නේ දෙදෙනකුගේ ජීවිතය. පෙම් කරන කෙනෙකුට ඇත්තේ යුග දිවියක් මිසක තනිකඩ දිවියක් නොවේ.’ රන්ජන් මා සමඟ පැවැසුවේය.

අවාසනාවයි දුකයි මා ලැබු දේ එපමණයි…
ඔබ පොඩ්ඩක් හිනා වෙන්න…
ඒ මොහොතෙ දි මට සැපයි…

ඔහු එකල ජෝතිපාලගේ මෙම ගීතය නිතර මුමුණන්නේය. තම ප්‍රේමය තම ආත්මයම වසාගත් අඳුරු පටලයකින් වෙළි සදාකාලික විරහ වේදනා ඔහුට හිමි වුවද තමා හැරගිය පෙම්වතිය ගැන ඔහු අබමල් රේණුවක් තරම්වත් අහිතක් නොසිතන්නේය.

එමෙන්ම විරහ වේදනාවෙන් හිත ගත දැඩි පීඩනයකට පත්ව ඔහු ජීවිතය විනාශ කර ගන්නේ ද නැත. තමා පෙම් කළ යුවතිය අන් සැමියකු සතු වනු දැක ඔහුට ඇයට මුළු හදින්ම ආශිර්වාද කොට සැනසීමට හැකි හදවතක් ඇත්තේය. මීගමුවේ දී කෙල්ලකගේ ආදර උණුසුම ලැබීමට රන්ජන් මහත් උත්සාහ කළ ද ඒ සියල්ල හිරු දුටු පිනි මෙන් වියැකී ගියේය. කලා ලොවට ආ අලුත්ම පින්නේ පිපුණු පිච්ච මලක් වන් රමණි බර්තොලමියුස් ද අති සෙනෙහසින් සමීප වුවද ඇය අකාලයේ මිය පරලොව ගියේ තවත් වරක් රන්ජන්ට ප්‍රේමයේ විරහ ගිනිදැල් පමණක් උරුම කරමින්. ඉන් අනතුරුව ඔහුගේ දිවියට රූමත් යොවුන් නිළියන් කිහිප දෙනෙක්ටම ආදරයෙන් ළංවීමට මංපෙත් විවර වුවද ඒ සැම උපන් ගෙයිම වියැකී ගියේය.

කාට කාටත් කරුණාවන්ත වුවද ඇය තමා සතු කර ගන්නට නම් ඔහුටම සීමා වූ ප්‍රතිපත්ති මාලාවක පිහිටා ජීවත් විය යුතුය. එවිට ඇයට අනුගත වීමට නොහැකි වූ තැන ඇය ඔහුගෙන් සමුගන්නීය.

උන්මාදිනියේ වෙන්වී යන පිටුපාලා…
සංවේගය ඉවසමි මම කඳුළු සලාලා…

එවන් මොහොතක ඔහු මෙවන් ගීතයක් මුමුනමින් හිත හදා ගැනීමට තැත් කරන්නේය. ඔය අතර ඔහුට සැබෑ ප්‍රේමවන්තියක් මුණ ගැසුණි. පෙර ලිපියේ සඳහන් කළ පරිදි ඇය අතිශය රූමත් කොහුවල ‘ඩී’ ය. රන්ජන් වරක් රෝගාතුරව නවලෝක රෝහලේ ප්‍රතිකාර ලබමින් පසු වූ දින කීපයේම ඔහුට සාත්තු සප්පායම් කරමින් ඇය ළෙන්ගතුව හැසිරුණු ආකාරය මම සියැසින් දුටුවෙමි.

එහෙත් මෙම ආදරණීය ‘ඩී’ ද ඔහුට අහිමි විය. ඇය පසු වූයේ විවාහ විය යුතු වයසේය. ඇයට ගෙදරින් විවාහ යෝජනා එන්නට පටන් ගත්තේය. තම එකම දියණිය ගැළපෙන කෙනෙකුට විවාහ කර දීමට ඇගේ දෙමාපියන්ට තදින්ම අවශ්‍ය විය.

‘අනේ රන්ජන්! මට ගෙදරින් හරියට ප්‍රොපෝසල්ස් එනවා. තාත්ත බල කරනවා. මම දැන් මොකද කරන්නෙ?’

දිනක් ඇය ඔහුව සොයාවිත් ඉතා සෝබරව පැවැසුවාය. ඒ වන විට රන්ජන් තම සිනමා දිවිය අරඹා එහි දලු ලා මල් පිපෙමින් තිබු අවදියයි. ජනප්‍රිය වෙමින් සිටි අවදියයි. ගිවිසුම් රැසකට අත්සන් කොට තිබූ අවදියයි.

ඔහුට නිවෙසින් බැහැරව සති ගණන් ගෙවා දැමීමට සිදුව තිබූ අවදියයි.

‘බබෝ! මං ඔයාට පණ වගේ ආදරෙයි. ඒත් මං ‍කොහොමද දැන්ම ඔයාව මැරි කරන්නෙ?’

‘ඇයි බැරි?’

‘හිතන්නකෝ! මං ෂූටින් ගිහින් සති ගණන් පිට ඉන්නෙ.’

‘ඉතින්! මාත් එන්නංකො ඔයත් එක්ක.’

ඇය ආදරය ඉහවහා ගොස් එසේ පැවැසුවේ වී නමුදු එය ප්‍රායෝගික නොවීය. එහි ප්‍රතිඵලය වූයේ කොහුවල ‘ඩී’ මීගමුවේ ‘ආර්. අතර පැවැති ස්ථිර ආදරය බිඳී යාමය.

අනතුරුව රන්ජන් රාමනායකගේ ජීවිතයට දේදුන්නේ ආ සමනලියක් පියඹා ඒම අති සුවිශේෂි කාල පරිච්ඡේදයක ආරම්භය විය. යසපාලිත නානායක්කාරගේ ‘දේදුන්නෙන් ආ සමනලිය’ චිත්‍රපටයෙන් සිනමාවට පායා ආ ඒ රන් සමනලිය සැබැවින්ම රන් සමනලියක් වූවාය. අතිශයින්ම හුරුබුහුටි රෝස මලක් වන් ඇය නමින් දිල්හානි ඒකනායක විය. මුල්ම අවදියේ සිට ඇය අප පවුලේ හිතවතියක බවට පත් වීම ද විශේෂයකි. දිනක් දිල්හානි සමඟ මා අප නිවෙසේ කතාබහ කරමින් සිටියදී ඇගේ සම්පූර්ණ නම මා විමසූ විට දිල්හානි අශෝකමාලා ඒකනායක බව පැවැසුවාය.

‘මොකක්ද දිල්හානි මෙච්චර ලස්සන නමක් තියාගෙන ඒක හංගගෙන ඉන්නෙ? අද ඉඳන් ඔයා දිල්හානි අශෝකමාලා. බලන්නකො ජනප්‍රිය වෙන හැටි.’

එවකට මා විශේෂාංග කර්තෘ ධුරය දැරු ඉතා ජනප්‍රියව තිබූ ‘සරසි’ පත්‍රයේ එතෙක් දිල්හානි ඒකනායක නම් වූ ඇය දිල්හානි අශෝකමාලා නමින් බෞතිස්ම කොට හැඳින්වූයෙමි. එපමණක් ද නොවේ. ඇය දිනක් ඇගේ පින්තූර ඇල්බමය මට පෙන්නුවාය.

එවකට හින්දි තිරයේ ‘ශ්‍රී දේවි’ භාරතයේ කිරුළු දරා සිටියා පමණක් නොව අපේ රටේ ද අතිශය ජනප්‍රියව සිටියාය. දිල්හානිගේ ඡායාරූප ඇල්බමය පිරික්සීමේ දී ඇගේ පින්තූර කීපයකින්ම මම එක්තරා අන්දමක ශ්‍රී දේවිගේ ස්වරූපයක් ඇයගෙන් දුටුවෙමි.

‘බලන්නකො ඔයා චුට්ටක් ශ්‍රී දේවි වගේනෙ.’

මා විමසූ විට ඇය කොක් හඬ ලා සිනාසුණාය. ඒ වන විට ඇගේ ඒ මිහිරි සිනාව රසික සිත් සතන් ප්‍රබෝධවත් කරමින් නොසිටියා නොවේ.

‘අද ඉඳන් ඔයා අපේ පුංචි ‘ශ්‍රී දේවි’ හරි ද?’

‘අම්මෝ! ශ්‍රී දේවි සියදිවි නසා ගනියි.’

සැබැවින්ම ඇය එවක් පටන් පුංචි ‘ශ්‍රී දේවි’ ලෙසම අපේ මාධ්‍ය ලෝකයේ හැඳින්වීමට පටන් ගත්තේය. මම මුලින්ම අප පත්‍රයේ මැද පිටුවක් ශ්‍රී දේවිට හුරු ඇගේ පින්තූර සමඟ පළ කළෙමි. ඒ වන විට රන්ජන් රාමනායක ‘රන් සමනලයා’ ලෙස ආදරයට පාත්‍ර වී සිටියේය. පුංචි ‘ශ්‍රී දේවි’ට පෙම් කරන රන් සමනලයාගේ ආනන්දනීය ප්‍රේම වෘත්තාන්තය අපේ සිනමා ඉතිහාසයේ පිටු අතරට එක් වූයේ එලෙසිනි. එකල අප පදිංචිව සිටි මහල් නිවාස සංකීර්ණයේ අපේ නිවෙස පුංචි චිත්‍රාගාරයක් මෙන් විය. නළු නිළියන් ඇතුළු සුප්‍රකට කලාකරුවන් නිතරම එහි ගැවසෙන තැනක් විය. දිල්හානි ද නිතර ආවා ගියාය. එපමණක්ම නොව රන්ජන් ද නිතරම ආවා ගියේය.

‘වඩු අයියා බලන්න එන්න හිතුණා…’ කියමින් රන්ජන් අප නිවෙසට ‍ගොඩ වෙද්දී දිල්හානි ද පැමිණ සිටියාය.

‘වඩු අයියා බලන්න එන්න හිතුණා’ කියමින් දිල්හානි දුටු රන්ජන් ඇයට ඇසක් ගසා මනමාල හිනාවක් පානවා මට දැක ගත හැකි විය. ඇත්තෙන්ම රන්ජන් අප නිවෙසට ආවේ ගියේ අප බලන්නට නොව දිල්හානිව බලන්නට බව පසුව වැටහී ගියේය.

‘මා හොඳින්ම පෞද්ගලිකව දන්නා පරිදි රන්ජන් සිය ජිවිත කාලයටම ඉතාමත්ම ප්‍රබල ලෙස ආදරේ කළේ දිල්හානිටය. එය අති සංවේදී සංවරශීලී ආදර සබැඳියාවක් විය.

ලබන සතියේ රන්ජන් දිල්හානි නමින් රටපුරා ගී ගයයි

(ලංකා සී නිවුස් වෙබ් අඩවිය ඇසුරෙනි)

dilhani and ranjan gossips

NO COMMENTS

LEAVE A REPLY