පෙට්ටි කඩෙත් තරු පහේ හෝට‍ලයේත් මම ජනප්‍රියයි හරිඳු වරුණ | Haridu Varuna...

පෙට්ටි කඩෙත් තරු පහේ හෝට‍ලයේත් මම ජනප්‍රියයි හරිඳු වරුණ | Haridu Varuna Hot Gossips

244
0
SHARE
Haridu Varuna Hot Gossips
Haridu Varuna Hot Gossips

මේ දිනවල පුංචි තිරයේ විකාශය වෙන ටෙලිනාට්‍ය අතුරින් ‘උතුම් පැතුම් ‘ ටෙලි නාට්‍යය ප්‍රේක්ෂකයන්ගේ නොමඳ ප්‍රතිචාරයට ලක්ව ඇත. එහි ‘චන්දරේ ‘ එසේත් නැතිනම් ‘නීල පළිඟු දිය’ හි ‘විකුම්’ ,’අංකල් සෑම් ‘ නාට්‍යයේ ‘චුට්ටේ’ ‘සුසුමට පවා රහසින්’ හි ‘මනමාලයා’ ලෙස රඟන හරිඳු වරුණ පෙරේරාටත් ප්‍රේක්ෂකයන් ගෙන් නොඅඩුවම ප්‍රතිචාර ලැබෙයි. හරිඳු හා කෙරුණු මේ කතාබහද ඒ වෙනුවෙනි.

‘චන්දරේ’,’චුට්ටේ’ වැනි චරිත නිසාම මේ දවස්වල ඔබ කා අතරත් කතාබහට ලක්වෙනවා?

මම මේ දක්වා රඟපාපු චරිත අතුරෙන් ජනප්‍රිය වූ හොඳම චරිත කිහිපයක් තමයි ඒ.’චණ්ඩි, දාමරික චරිත වුණත් එවැනි චරිත අද සමාජයේ සුලබයි. මේ චරිත ගැන ප්‍රේක්ෂකයන් කතා බහ කරනවා.

ඔබේ ස්වරූපය අනුව පෙනෙන්නේ ඔබත් එවැනි චරිතයක් වගෙයි?

කොහෙත්ම නැහැ. මගේ පෙනුම චණ්ඩියෙක්ගේ වගේ වුණාට, මම මාල වළලු දාගෙන හිටියට සැබෑ දිවියේ හරිම අහිංසක චරිතයක්. නිර්මාංශ, මත්පැනින් තොර චරිතයක්.

ඔබ රංගනයට අත්පොත් තබන්නේ ටෙලි නාට්‍යයෙන්මද?

මම රංගනයට එක් වන්නේ දැනට වසර 25 කට පමණ පෙරාතුවයි. මට කලාව කියන දේ මගේ පරම්පරාවෙන් උරුම වූවත් එයින් නිසි ප්‍රයෝජන ගන්න අවස්ථාවක් ලැබුණෙ නැහැ. මගේ පියා ප්‍රවීණ කලාකරු එල්. එම්. පෙරේරා. ජාතික චිත්‍රපට සංස්ථාව පිහිටුවන්න පුරෝගාමී වුණු කෙනෙක්. චිත්‍රපට සංස්ථාවට ගොඩවෙන තැනම තාත්තගේ පින්තූරය එල්ලලා තිබෙනවා. ඒත් තාත්තාට අපි කලාවට එක් කරන්න ඔහු සමාජයට සේවය කළ තරමට වුවමනාවක් තිබුණෙ නැහැ. අද අපි චිත්‍රපට සංස්ථාවට හදිස්සියකට ගියොත් කොහෙද යන්නෙ කියලා නවත්තනවා. අපි කාගෙ කවුරුද කියලවත් අද චිත්‍රපට සංස්ථාවෙ තියා සමාජයෙ අයවත් හඳුනන්නේ නැහැ. මම මේ තත්ත්වයට ආවේ ස්ව උත්සාහයෙන්. තාත්තාගෙන් උදව් උපකාර අරගෙන අද කලාවේ ප්‍රවීණයන් වී ඉන්න අය අපි දැක්කාම සමහරු නොදැක්කා වගේ ඉන්නවා. ඒ අතරේ එල්. එම් ගේ පුතා නේද කියලා අහලා උදව් උපකාර කරන තවත් පිරිසකුත් ඉන්නවා. කොහොම වුණත් අදටත් සමාජයේ තාත්තට ගෞරව කරන පිරිසක් ඉන්නවා. ඒ ගැන ලොකු සතුටක් තිබෙනවා.

වරක් ඔබ ප්‍රේමදාස ජනාධිපතිතුමා හමුවී විශේෂ දෙයක් ඉල්ලුවා නේද?

කවුද කිව්වේ? මම එතුමා මට හමු වූ අවස්ථා දෙකකදීම මම ඉල්ලුවේ ගෙවල් ‍‍දොරවල් නෙමෙයි. මට රඟපාන්න අවස්ථාවක් ලබා දෙන්න කියලයි. එල්. එම් ගේ පුතාගේ මේ ඉල්ලීමට එතුමත් පුදුම වුණා. එදා ඉදලම මම කැමැත්තෙන් හිටියේ කලාවටයි. රඟපාන්නයි.

දැන් ඔබව බොහෝ දෙනෙක් හඳුනනවා. කලා ක්ෂේත්‍රයට එක් වීම ගැන මොකද හිතන්නේ?

කලාව කියන එක අද හරි දුෂ්කරයි. එදා අපේ සිත්වල වීරයන් බවට පත් වු සමහර නළුවන් සහ සමහර අධ්‍යක්ෂවරු සමඟ අද රඟපාන්න ලැබෙනවා. ඔවුන්ට අපි කොච්චර ආදරේ කළත් ඔවුන් එක්ක රඟපාන කොට, කටයුතු කරන විට හිතෙනවා මොන තරම් කුහක

නළුවන්ද අධ්‍යක්ෂවරුද කියලා. මාධ්‍යයෙන් මානව හිතවාදය, බුදු දහම ගැනයි කතා කරන්නේ. ඒත් ක්‍රියාවෙන් නම් අන්තිමයි. වැඩේ කරගෙන අන්තිමට තියන්නෙම පොලු. එක ජනප්‍රිය අධ්‍යක්ෂවරයෙක් හිටියා ඔහුගේ නිර්මාණයකට කරඬුව හදා දුන්න ශිල්පියාට අදටත් මුදල් ගෙවලා නැහැ. ඒ වුණාට නොයන පන්සලක් නැති තරම්. මේ වගේ දේවල් නම් කලා ක්ෂේත්‍රයේ අනන්තයි.

කලාවෙන් උපයන ආදායමෙන් ජීවත් වෙන්න පුළුවන්ද?

කිසිසේත්ම බැහැ. නමුත් එයින් පමණක් ජීවත් වෙන්න ගියොත් නම් බොහෝ විට හිඟමන් පවා යදින තත්ත්වයට පත්වෙන්න සිදු වේවි. අද එතරම් දුරට කලාව දුෂ්කර තත්ත්වයට පත්වෙලා. රඟපාන නළු නිළියන්ට මුදල් ගෙවීම්, ආහාරපාන වෙලාවට ලැබෙන්නේ නැහැ. ට්‍රාන්ස්පෝර්ට් පහසුකම් නැහැ. චරිතයට සරිලන ඇඳුම් සපත්තු අපිම ගත යුතුයි. සමහර වෙලාවට රඟපාපු චරිතයට පොරොන්දු වූ මුදල නොගෙවන අවස්ථාත් තිබෙනවා. චරිතයකට කතා කරලා චරිතය රඟපෑවට පස්සේ මහ රෑ පාන්දර 2ට 3ට මහ පාරක් අයිනට ගෙනත් දාලා යනවා. මම ළඟ දි දවසක එක්තරා රහසක් ගැන කියන ටෙලි නාට්‍යයක රඟපෑවා. අදටත් එහි ගෙවීම් නැහැ. මහ පාන්දර අතින් වාහනේට තෙල් ගහගෙන ගිහින් රඟපෑවේ. සල්ලි නොදුන්නත් මේ තරම් කැප කිරීමක් කලාව වෙනුවෙන් කරන්නේ කලාවට තිබෙන ආදරේ නිසයි. ඉස්සර මෙවැනි තත්ත්වයක් කලාවේ තිබුණෙ නැහැ. අද කලාව කරන්න කලාකරුවන් ගොඩක් දුක් විදිය යුතුයි. මේ නිසා අද කලාවේ නියැලීම කලාකරුවනට දුෂ්කර වෙලා තිබෙනවා. එය කනගාටු දායකයි.

ඔබට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැනත් දැන ගන්න කැමැතියි?

අවුරුදු 25 ක් තිස්සේ ක්ෂේත්‍රයේ සිටියත් බොහෝ දෙනෙක් මාව දැන් තමයි හඳුනන්නේ. මේ දවස්වල ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන අසීමිත ප්‍රතිචාරවලින් ලොකු සතුටක් ලැබනවා. මඟ තොට හමුවන පොඩි දරුවාගේ සිට මහල්ලා දක්වා මට හොඳ ප්‍රතිචාර දක්වනවා. මම පෙට්ටි කඩයකට ගියත් තරු පහේ හෝටලයකට ගියත් මගේ රසිකයන් මාව හඳුනා ගන්නවා. මේ ළඟදි දවසක මම කඩේකට ගිහින් තේ එකක් බිව්වා. එතැන ‘උතුම් පැතුම්’ නාට්‍යය නරඹන ප්‍රේක්ෂකයෙක් හිටියා. මා එපා කියද්දිත් ඔහු මගේ තේ එකේ බිල ගෙව්වා. තවත් දවසක් කේක් ගන්න ෂොප් එකකට ගියා. ඒ ෂොප් එකේ මැනේජර් මගේ රසිකයෙක්. මට කේක්වලටත් ඩිස්කවුන්ට් දුන්නා. මේ වගේ මගේ රසිකයන්ගේ ආදරයට මාව ලක් වෙනවා. ඔවුන් තමන්ට හැකි ආකාරයෙන් මම උදව් බලාපොරොත්තු නොවුණත් මට උදව් කරනවා. එය මට සතුටක්.

ඔබ ෆැෂන් කරනවාද?

මම ෆැෂන් කරන්න කැමැතියි. මට ගැළපෙන විදිහට මම විලාසිතා කරනවා. මගේ අතේ,ඇඟිලිවල, ඇඟේ විවිධ මාල වලලු තියෙනවා. අනෙක ඉස්සර හොදට තිබුණු කොණ්ඩේ අද ගිහින්. එක්තරා සංගීත වැඩසටහනකට සහභාගි වෙන්න මට ආරාධනා ලැබුණා. මගේ පෙනුම නිසාද දන්නේ නැහැ. වැඩසටහන නිම වුණාට පසු මචං අද සෙට් වෙමු කියලා එහි නිවේදකයා කිව්වා. මං කිව්වා මං බොන්නේ නැහැ කියලා. ‘බොරු කියන්න එපා. ඌරෙක්වත් කනවා ඇති’ කියලා මට කිව්වා. මම නිර්මාංශ මත්පැන් පානය නොකරන කෙනෙක් කියල පිළිගත්තෙම නැහැ. එයා හිතුවේ මම බොරුවට කියනවා කියලයි.

අද සමාජයේ ඔබ වැනි අය විරලයි?

ඔව්. මම මගේ ආහාරයට සතෙක්ගේ මළකුණක් කවදාවත් එක් කර ගන්නේ නැහැ. උපන්දිනයට කේක් කපන්නේ නැහැ. කිරිබත් තමයි කපන්නේ. මගේ බිරිඳ දරුවන් හැම දෙනාම නිර්මාංශයි. අනෙක මම විවාහ වුණෙත් හරි පුදුම විදිහට මගේ විවාහයට උත්සව ගත්තේ නැහැ. මත්පැන් නැති, මල් බොකේ, විච්චූර්ණ නැති මගුල් ගෙයක් තමයි මම ගත්තේ. අද ඒ ගැන මම හුඟාක් සතුටු වෙනවා. අපි මේ හැම විදිහටම බුදු දහම අනුව දිවි ගෙවන්න උත්සාහ කළත් කලාවට ආපුවහම කරන කියන දේවල් නිසා අපෙත් සසර දික්වෙනවා.

ඔබ වෘත්තියෙන් නළුවෙක් ද?

මම රූපලාවන්‍ය ශිල්පියෙක් හා කාය වර්ධන ව්‍යායාම ශිල්පියෙක්, කරාටේ පුහුණු ගුරුවරයෙක් විදිහට කටයුතු කරන අතරතුර නළුවෙක් ලෙසත් කටයුතු කරනවා. මගේ ‘බ්‍රිටිෂ්’ රූපලාවණ්‍යාගාරය ජා ඇළ පවත්වාගෙන යනවා. මොකද නළු වෘත්තිය කරලා අද ජීවත් වෙන්න අමාරුයි. මම රූපලාවන්‍යාගාරයෙන් හම්බ කරන මුදලුත් වියදම් කරන්නේ කලාවටයි.

ඔබ සිනමාවටත් දායක වුණා. අද සිනමාවෙන් දුරස්වෙලාද?

මම චිත්‍රපට කිහිපයකටම දායක වුණා. සිනමාවට මම කැමැතියි. මම රඟපාපු ‘මහරජ අජාසත්ත’ , ‘අනගාරික ධර්මපාල’ සිනමා නිර්මාණ ඉදිරියේ තිරගත වීමට තිබෙනවා.

(ලක්බිම පුවත්පත ඇසුරෙනs)

Haridu Varuna Hot Gossips

NO COMMENTS

LEAVE A REPLY