මං කීවා මට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා.. මගේ බඩට අතින් පයින්...

මං කීවා මට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා.. මගේ බඩට අතින් පයින් හොඳටම ගැහුවා! !husband and Pregnant wife fighting

503
0
SHARE
husband and Pregnant wife fighting

මා ඉදිරියෙහි හිඳින්නේ තවමත් තාරුණ්‍ය පලා නොගිය ගැහැනියකි.ජීවිතයේ කිසිදු අරමුණක් නැතුවා සේ ඇය බලා හිදී.ඇයට සිනා සෙන්නට අමතකව ගොස් ඇති සේය.

මම ඇයට කවට කමක් කළෙමි.ඇය හිනැහුණාය.විසිරි ගිය සිනහව මැකී යන්නටත් පෙර ඒ දෑසින් කඳුළු ගලන්නට විය.
“ඒ මිනිහා නිසා මගේ ජීවීතේම කාලකණ්ණි වුනා.මට හරියට කේන්ති යනවා.ඒ වෙලාවට මොනවා කරනවද කියලා මම දන්නේ නෑ.මං මගේ දරු පැටියට හොඳටම
ගැහුවා.දවසක් පොළොවේ ගහන්න කියලා උස්සලා ගත්තා.වටේ හිටපු අය ඔක්කෝම කෑගැහුවා මිසිලා ඉහළට ලිව්වා.මගෙත් එක්ක දරුවා තියන්න බෑ කියලා.
ඊට පස්සේ උසාවියෙන් දරුවා ළමා නිවාසයකට බාරදුන්නා. දරුවා ළමා නිවාසයට බාරදෙන දවසේ මමත් ගියා.මට හොඳටම ඇඬුණා.ඒත් මම හිත හදාගෙන ආවා.මගේ කොලු පැටියා කාලකණ්ණියෙක් නොවී හොඳට හැදෙයි කියලා”
ඇය හිස බිම යොමාගෙන ඉකි බිඳින්නීය.ඈ දෑසින් වැටෙන කඳුළු ඇඟිලි තුඩුවලින් පිස දමන්නීය.
“තමන්ගේ කුසින් වැදු දරුවට උපන් දා ඉඳලම පහර දෙන්න හිරිහැර කරන්න කොහොමඳ ඔයාට පුළුවන් වුණේ”……?

ඉකිබිඳ හඬන ඇය අස්වසා සෑහෙන වෙලාවකට පසුව මම ඇසුවෙමි. “මට මතක ඇති කාලේ ඉදලම මම හැදුණේ මගේ පුංචි අම්මා ළඟ.අම්මා මාව පුංචි අම්මට දීලා රට ගිහින්.මට මගේ අම්මාගේවත් තාත්තාගේවත් මුහුණු මතක නැහැ.මට මතකයි පුංචි අම්මා කියනවා මැදපෙරදිග රටකට ගිය අපේ අම්මට ඒ රටේදී වෙඩි තියලා මරා දැම්මා කියලා”……
“මේ කතා ඇත්තද නැත්තද කියන්න මම දන්නේ නැහැ.පුංචි මාව ඉස්කෝලේ යැව්වා.අපි හිටපු ගෙදර මාමා,නැන්දා,ආච්චි හැමෝම හිටියා.මට පුංචි කාලෙත් හරියට කේන්ති යනවා.

මට අවුරුදු දහයක් විතර කාලේ මම පොලිසියට ගියා මගේ ඇඳුම් ටිකත් අරගෙන.මම ගිහින් කිව්වා මට කවුරුත් නැහැ කියලා.මම එහෙම ගෙදරින් පැනලා ගියේ පුංචි අම්මා එක්ක තරහ වෙලා.පොලිසියෙන් මා කියපු දේ විශ්වාස කරලා මාව උසාවියට ඉදිරිපත් කළා.ඊට පස්සේ මාව ළමා නිවාසයකට දැම්මා”…….
“ළමා නිවාසයේ අවුරුදු දහඅටෙන් පස්සේ තියාගන්නේ නැහැ.මමයි යාළුවෙකුයි දහඅට සම්පුර්ණ වුනාට පස්සේ ළමා නිවාසයෙන් පැනලා ගියා.මට යන්න එන්න තැනක් නොතිබුනාට යාළුවට ගෙයක් දොරක් තිබුණා.එයා ළමා නිවාසයේ හිටියේ එයාගේ අම්මා රට නිසා.මම යාළුවගේ ගෙදර නතර වෙලා රස්සාවකට ගියා.
ඒක පොඩි රෙදි සාප්පුවක් ඒ යන අතරේ තමයි එයාව මට හමුවුනේ ඒයාගේ රස්සාව සපත්තු මහන එක.එයාට ඒ වෙනකොට අවුරුදු පණහක් විතර ඇති.ඒත් හරි ලස්සනයි.බැලුවම වයස කියන්න බැහැ.මට හිතුණා එයත් එක්ක යාළුවෙන්න.

ඒත් හැමෝම කිව්වා එයා බැඳපු කෙනෙක් කියලා.එයාගේ අම්මත් ඇවිල්ලා කිව්වා.මම විශ්වාස කළේම නැහැ.මටත් කාත් කවුරුත් නැති නිසා මේ වගේ කෙනෙක් හොඳයි කියලා හිතුවා”…..
“අපි අඳුනගෙන සතියක් විතර ඇති.මම එයාගේ ගෙදර ගියා.ගෙයක් කිව්වට ඒක පොඩි මඩුවක්.ඒ මඩුවේ ඇඳක් මේසයක් තිබුණා.ඊට එහායින් කුස්සි කෑල්ලකුත් තිබුණා.එයා මාව කසාද බැන්දේ නැහැ.ඒත් මට ආදරෙන් සැලකුවා.එයා තමයි උයලා මට කන්න දුන්නේ.
එයාගේ අම්මා මට වෙනස් කම් කළා.එයා බොන්න පුරුදු වෙලා හිටියේ. හැමදාම හැන්දැවට බොන්න යනවා ඊටත් රෑ වෙලා පාරේ තියන සෙරෙප්පු ටික බලලා එන්නම් කියලා යනවා.ඒ ගිහින් එන්නේ පාන්දර එහෙමත් නැතිනම් එළිවෙලා.

පස්සේ තමයි මට දැනගන්න ලැබුණේ එයා කලින් කසාද බැඳලා කියලා.ලොකු දුවලා දෙන්නෙක් ඉන්නවා ඒ ළමයින්ගේ අම්මවත් මෙයා බැඳලා නැහැ.මාව බැන්ඳෙත් නැහැ.මම හැමතිස්සෙම මට එයා ගැන ආරංචි වෙන දේවල් එයාගෙන් ඇහුවා.එතකොට කේන්ති අරගෙන මට බනිනව,ගහනවා.මම හිතා ගත්තා එයාට අතක් උස්සන්නේ නෑ කියලා.
ඔය අතරේ තමයි මට දරුවෙක් ලැබෙන්න ආවේ.මං ඒ ගැන එයාට කියපු දවසේ මම හිතුවා එයා සතුටු වේවි කියලා.ඒත් එයා මට කිව්වේ දරුවා නැති කරමු කියලා.මට ඕන වුණේ දරුපැටියගේ මුහුණ බලන්න.ඒත් එයා මට දරුවා නැති කරන්න කියලා බොන්න බෙහෙත් ගෙනැල්ලා දුන්නා.ඒත් දරුවට මොකුත් වුණේ නැහැ.

ඒත් එයා මාත් එක්ක රණ්ඩුකරන හැම වෙලාවකම අතින් පයින් බඩට පහර දුන්නා.ඒ පහරවල් මම ඉවසගෙන හිටියේ හරිම අමාරුවෙන්.සමහර වෙලාවට මම හිතුවා කමක් නෑ මාව මැරුණාවේ කියලා. ඒත් මට දරුවා ලැබුණා.
දරුවා ලැබෙන්න ඉන්න කාලේවත් මට හරියට කන්න බොන්න ලැබුණේ නැහැ.මට ඒ මිනිහා එක්ක තරහයි.තරහ ගිය වෙලාවට මම කළේ මලක් වගේ හිටපු දරුවට ගහපු එක.දවසක් එයා පොලිසි ගියා මම දරුවට ගහලා දරුවගේ කොන්දේ ඇඟිලි පහක් හිටලා කියලා. පොලිසියෙන් මාව උසාවි දාලා මේ නිවාසයට එව්වා.ඒත් පස්සේ වෛද්‍ය වාර්තා වලින් ඔප්පු වුණා ඇඟිලි පාරවල් දෙකයි තියෙන්නේ කියලා.මම ආයෙත් දරුවත් එක්ක ගෙදර ගියා.

ඒ ගියා කියලා ඒ මනුස්සයා මට ආදරෙන් සැලකුවේ නැහැ.එයා මං ගෙදර ආවේ නැති අතරේ තවත් කෙනෙක්ව යාළු කරගෙන.රෑ තිස්සේ එහෙ යන්න එන්න ගත්තා.මටයි දරුවටයි කන්න බොන්නවත් ලැබුණේ නැහැ.
මම දරු පැටියත් අරගෙන පොලිසියට ගියා.මං කිව්වා අපට ජීවත් වෙන්න හැටියක් නැහැ මාවයි දරුවයි නිවාසයකට දාන්න කියලා.දරුවට මාස ගානයි මම නිවාසයට එද්දී.දැන් දරුවට අවුරුදු දෙක හමාරයි.” කතාව කියන අතරතුරේ ඈ හුල්ලා ඉකිබිඳියි

” මං මහ කාලකණ්ණි ගැහැනියක් මට හරියට කේනති යනවා.ඒ වේලාවට ඒ තරහ පිරිමහ ගත්තේ දරුවගෙන්.මං දරුවට හරියට ගැහුවා.මගේ දරුවා දැන් බහතෝරන වයස වුණාට වෙන ළමයි වගේ කතා කරන්නේ නැහැ.දරුවට එහෙම වුණේ මං ගහලමයි.පුතා හම්බ වෙන්න ඉන්න කාලෙත් අර මිනිහ මගේ බඩට ගැහුවා.”
“ඔයාගෙම කුසින් බිහිවුණු දරුවට වඳ දෙන්න දුක නැද්ද”…..?

“ඇත්තටම දුකයි මගේ පුතා පව්.ඒත් මට තරහ යනවා.මං හරි හිතුවක්කාරයි.මං එදා පුංචිලාගේ ගෙදරින් පැනලා ආවේ නැත්නම් මං මෙච්චර අමාරුවේ වැටෙන්නේ නැහැ
මම කියලා තියෙන්නේ මගේ දරුවව හදාගන්න හොද කෙනෙකුට දෙන්න කියලා.මගේ පුතා කාලකණ්ණියෙක් නොවී හොදට හැදෙනවට මම කැමතියි.
මේ බලන්න මගේ පුතා තාමත් කිරිබොනවා.දරුවා ළමා නිවාසයට යවලා තාම දවස් හතරයි.මගේ කිරි ගල් වෙලා මට ඉවසන්න බැහැ වේදනාව මං ඒවට බෙහෙත් බොනවා.”
ඇය ඇඳ සිටි හැට්ටය ඈත් මෑත් කර ඉදිමී ඇති පියයුරු පෙන්වයි

හිතුවක්කාර කම් කළ දමුරණ්ඩු වුවද ඇයත් ගැහැනියකි.ළමාවිය මවුපිය සෙවනේ නොව ළමා නිවාස වල ගෙවා දැමු ඇයටද සුන්දර අනාගතයක් පිළිබඳ අපමණ සිහින තිබෙන්නට ඇත.
“මං කැමතියි කසාදයක් බැඳලා පිළිවෙලකට ඉන්න.හමුදාවේ ආබාධිත වෙච්ච කෙනෙක් හරි මාව බදින්න කැමති නම් මං එයත් එක්ක ජීවිත කාලෙම ඉන්න කැමතියි.ඒත් මං එහෙම විවාහයකට කැමති වෙන්නේ මගේ දරු පැටියවත් මගේ ළඟට ගන්න දෙනවනම් තමයි.මගේ දරුවා ළමා නිවාසයක දුක් විදිද්දී මට බැහැනේ සතුටින් ඉන්න.

ඇයට හෙට දවස පිළිබඳ ප්‍රාර්ථනයක් ඇත.දැන් පුංචි පුතු ඈ සෙවනේ නැත.එහෙත් දරු සෙනෙහස නිසා විටෙක වැළපෙන ඇය තවත් විටෙක තමන් මඟට ඇද දැමු මිනිසා සමඟ පවුල් කෑ තවත් ගැහැනියක සමඟ ගුටිබැට හුවමාරු කරගනී.

මම ආවට පස්සේ එයත් එක්ක පවුල් කාපු කෙනෙක් කොහොම හරි උසාවියෙන් මෙහෙට එවලා තියනවා.එයාටත් දරුවෙක් ඉන්නවා.ඒ ගෑනී දැක්කම ඉවසාගන්න බැහැ.තරහ යනවා.ඒ තරහ ඉවසගන්න බැරි වුණාම තමයි මං දරුවට ගැහුවේ.

උසාවියෙන් නියෝග කළා මට හොදින් හැසිරෙන්න කියලා.පුතා ගෙනිච්චට පස්සේ මං හුඟක් කල්පනා කළා.මං හැමදේම ඉවසං හොද කෙනෙක් වෙන්න හිතනවා.

NO COMMENTS

LEAVE A REPLY