සනත්ගේ නිහතමානීකම අපව හීලෑ කළා කීර්ති රුවන් ලාල්සන් | Keerthi Ruwan Lalson...

සනත්ගේ නිහතමානීකම අපව හීලෑ කළා කීර්ති රුවන් ලාල්සන් | Keerthi Ruwan Lalson Latest News

36
0
SHARE
Keerthi Ruwan Lalson Latest News
Keerthi Ruwan Lalson Latest News

උසස් පෙළ විද්‍යා විෂයයන් හදාරා විශ්වවිද්‍යාලයට යන්නට වරම් නොලැබූ ඔහු කුඩා අවදියේ සිට තම සිත තුළ කැකෑරෙමින් තිබූ රඟපෑමේ ආශාව මුදුන් පමුණුවා ගැනීමට සිත හදා ගනී.

මේ ආශාව සාක්ෂාත් කර ගැනීමට යම් පාඨමාලාවකට යොමු වන්නට සිත්ලූ අත සැරිසද්දී ඔහුට අපූරු තැනක් හමුවේ.

ඔහු දැන් නළුවෙකු, සහාය කලා අධ්‍යක්ෂවරයකු, චිත්‍රපට කලා අධ්‍යක්ෂවරයයකු, තිර පිටපත් සහායකයකු, සහාය අධ්‍යක්ෂවරයකු, සම අධ්‍යක්ෂවරයකු ලෙසින් අද කටයුතු කරන අපේ කතා නායකයා කීර්ති රුවන් ලාල්සන් නම් කලාකරුවායි.

වෛද්‍යවරයකු වන්නට අධ්‍යාපනය හැදෑරුවත් දෛවය විසින් ඔබ කලාකරුවෙක් කර හමාරයි. කීර්ති අපේ කතාබහට ප්‍රවේශයක් දෙමින් කලාවට යොමු වූ අයුරු පැහැදිලි කරමු?

නිශාන්ත අල්විස් මහතා මෙහෙය වූ තුරු සෙවණ රංගන පාඨමාලාව හැදෑරුවා. මෙහිදී මට පියල් ජයසංඛ මහතාව හමු වෙනවා. එතුමා මාව රංජිත් ද සිල්වා කලා අධ්‍යක්ෂවරයාට හඳුන්නලා දෙනවා. පසුව මම ඔහු යටතේ කලා අධ්‍යක්ෂණ සහාය ශිල්පියෙකු ලෙස ‘වාරකන්’ ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙනවා. ඉන් පසු ඔහුත් සමඟ සහාය කලා අධ්‍යක්ෂවරයකු ලෙස ටෙලි නාට්‍යය කිහිපයකට දායක වෙනවා.

ටෙලි හා චිත්‍රපට කලා අධ්‍යක්ෂවරයකු ලෙස තනිව වගකීමක් භාරගත් හා ඔබගේ ප්‍රථම රංගනය ගැන කියමු?

මගේ ප්‍රථම රංගනය සිදු වුණේ සඳවතට වරුණ ටෙලියේ. එහි මම සහාය කලා අධ්‍යක්ෂණයෙනුත් සහභාගි වුණා. මගේ පළමු රංගනය කළේ නලීන් ප්‍රදීප් උඩුවෙල සමඟ පෝස්ටර් ගසන තරුණයකු ලෙසයි. දල ඇති හංසයෝ ටෙලිය හා නාග කන්‍යා චිත්‍රපටය මගේ පළමු කලා අධ්‍යක්ෂණයෙන් සම්බන්ධ වුණා.

ඔබ තිර පිටපත් සහායකයකු ලෙස කටයුතු කළා නේද?

ඔව්. සුමිත් හිරාන් නම් කලා අධ්‍යක්ෂවරයා සමඟ දීර්ඝකාලීනව මම වැඩ කළා. ඔහු හරහා වී. සිවදාසන් මහතාව හඳුනා ගන්නවා. ඔහුගේ ප්‍රථම හිරු ටෙලි නාට්‍යයේ තිර පිටපත, සහායක ශිල්පියෙකු ලෙස සම්බන්ධ කර ගත්තා. මේ නිසා මම ටෙලි නාට්‍ය නිර්මාණ පාර්ශවයට සෘජුවම දායක වෙන්න ලැබුණා.

දෙවන සහාය අධ්‍යක්ෂවරයකු, සහාය අධ්‍යක්ෂවරයකු, ප්‍රධාන සහාය අධ්‍යක්ෂවරයකු, සම අධ්‍යක්ෂවරයකු දක්වා ඔබ ආ ගමන් මඟ?

වී. සිවදාසන් මහතා නිර්මාණය කළ ආරතී, මව් දෙවිඳු, සුජාතා වගේ ටෙලි නාට්‍යයවල දෙවන සහාය අධ්‍යක්ෂණයෙනුත්, තිර රචනා සහාය ශිල්පියෙකු ලෙසත් කටයුතු කළා. ඉන් අනතුරුව තුසිත ද සිල්වා නම් සම්මානනීය අධ්‍යක්ෂකවරයා යටතේ අධ්‍යක්ෂණය වූ විමුක්ති ටෙලියෙත් ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා යටතේ දෙවන සහාය අධ්‍යක්ෂවරයෙක් ලෙස පසුව තුසිත ද සිල්වා අධ්‍යක්ෂණය කළ පාරමිතා, මෙහෙව් රටේ, තෙරණී ගීතය ටෙලි නාට්‍ය කතා මාලාවන් සමඟ දීර්ඝකාලීව ප්‍රධාන සහාය අධ්‍යක්ෂවරයකු ලෙස වැඩ කරනවා. දරුවනේ චිත්‍රපටයට ප්‍රධාන සහාය අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළා. මෙය සිවදාසන් මහතාගේ අධ්‍යක්ෂණයක්. සුනිල් ටී. ප්‍රනාන්දු, සුනිල් ධර්මසිරි දෙදෙනාව හමු වුණේ මෙම චිත්‍රපටය හරහායි. මගේ ජීවිතයේ පියවරෙන් පියවර මාව ඔසවා තැබුවේ වී. සිවදාසන් මහතා කිව්වොත් නිවැරැදියි. මොකද මාව සම අධ්‍යක්ෂවරයකු දක්වා ගෙනාවේ එතුමා. ‘දෝණි’ චිත්‍රපටයේ සම අධ්‍යක්ෂණයෙන් දායක වුණා.

සහාය කලා අධ්‍යක්ෂණයෙන්?

සඳවතට වරුණ, වාරකන්, මොණර කිරිල්ලී, දල ඇති හංසයෝ, නිල් දියමල්, ප්‍රථම හිරු.

කලා අධ්‍යක්ෂණයෙන් දායක වූ චිත්‍රපට?

නාග කන්‍යා, සුපර් ස්ටාර්, කුරුමිට්ටෙක් ඇවිල්ලා. මේ චිත්‍රපට තුනම අධ්‍යක්ෂණය කළේ ඒ. ඒ. ජුනයිඩීන් මහතා.

දෙවන සහාය අධ්‍යක්ෂණයෙන්?

මව් දෙවිදු, සුජාතා, හංස ගීතය, විමුක්ති.

ප්‍රධාන සහාය අධ්‍යක්ෂණය?

පාරමිතා, මෙහෙව් රටේ, තෙරණී ගීතය, අල්ලපු ගෙදර, දරුවනේ, අනිත්‍යා, වියපත් බඹරා, සිනහව අතරින්, විෂ්ණු සංක්‍රාන්තිය ටෙලිය හා ෆේස් බුක් ටෙලිය.

මේ දිනවල තිරගත වන සිනහව අතරින් චිත්‍රපටයට සම්බන්ධ වෙන්නේ සහාය අධ්‍යක්ෂවරයකු ලෙස. ප්‍රවීණ නළු සනත් ගුණතිලකයන් හඳුනා ගත්තේ?

සනත් ගුණතිලකයන් මට ප්‍රථමයෙන් හමුවුණේ නාග කන්‍යා චිත්‍රපටයේ වැඩ කරන කාලේදී. ඊට පසු නැවත හමු වුණේ දෝණි චිත්‍රපටයේදී. මෙතැනදී සුනිල් ටී. ප්‍රනාන්දු මහතා නිෂ්පාදනය කරන්නට යෙදෙන සිනහව අතරින් චිත්‍රපටයට මාව තෝරා ගන්නවා. මුලදී චකිතයක් තිබුණත් සුනිල් ටී, සුනිල් ධර්මසිරි හා සිවදාසන් යන අයගේ දිරිමත් කිරීම් මත මම භාර ගත්තා චිත්‍රපටයේ වැඩ කරන්න.

සනත් ගුණතිලකගෙන් ඔබට ලැබුණේ මොන වගේ ප්‍රතිචාරයක්ද?

සනත් ගුණතිලක මහතාගේ අධ්‍යක්ෂණයක් යටතේ වැඩ කිරීම මම හිතුවේ තරමක අභියෝගයක් වෙයි කියලයි. නමුත් ඔහු අපිත් සමඟ දැක් වූ සුහදතාව නිර්මාණ පාර්ශවය පොහොසත්වීමට උපකාරි වුණා. සහාය අධ්‍යක්ෂවරු ගණනාවක් දැක, ඇසුරු කරපු ඔහුට මා වැනි පුද්ගලයෙක් ගැළපෙන්නේ දැයි යන චකිතය මගේ හිතේ තිබ්බා. නමුත් මා පමණක් නොවෙයි, කැමරා ශිල්පියාගේ සිට ඔහු සම්බන්ධ කරගත් සියල්ලන්ම නව පරම්පරාවේ අය. ඔහු අප හා අදහස් බෙදා ගනිමින් සහයෝගයෙන් වැඩ කළා. ඇත්තටම ඔහුගේ ඒ නිහතමානිකමට අපිව හීලෑ කළා කියන්න පුළුවන්.

‘සිනහව අතරින්’ චිත්‍රපටය මගේ ජීවිතයට ලොකු වටිනාකමක් ගෙන ආවා. ඒ වගේම සනත් ගුණතිලක මහතාගේ අත්දැකීම් ඔහු නිර්ලෝභීව අපට කියලා දුන්නා. දශක දෙක තුනකට වැඩි කාලයක් සිනමා ක්ෂේත්‍රයේ සිටි මේ රංගධාරියාගෙන් ඒ අත්දැකීම් අපේ හිත්වල සදා රැඳෙමින් මතු වේවි. ඔහුගේ සංවිධාන ශක්තිය, පිටපත් තෝරා ගැනීම, දෙබස් වැනි අංග සුවිශේෂී ආවේණික තාවයෙන් යුක්තයි. ඒ වගේම ඊළඟ පරපුර උදෙසා ඔහු මේ චිත්‍රපටයේ තිර පිටපත මුද්‍රණ ද්වාරයෙන් එළි දක්වනවා. මට සිතෙනවා මම මේ දායක වුණේ අද නොවේ හෙට, නැත්නම් කල්ගත වෙන්න කල්ගත වෙන්න වටිනාකම ඉහළ යන නිර්මාණයකට කියලා.

අමතක නොවන සිදුවීමක්?

මම පොඩි කාලේ මගේ තාත්තත් එක්ක මම චිත්‍රපටයක් බලන්න ගියා. ඒක තමයි තාත්ති මං ආදරෙයි. එම චිත්‍රපටයේ නිෂ්පාදකවරයා වුණේ ටී. සිවදාසන්. අද එතුමන්ගේ සහාය අධ්‍යක්ෂවරයෙක් ලෙස වැඩ කරනවා.

පවුලේ විස්තර?

තාත්තා ලාල් ගුණතුංග. මම පවුලේ වැඩිමලා. මල්ලිලා දෙන්නයි නංගියි. අම්මා නැති වෙලා මම කුඩා කාලෙදිම.

ඉදිරි බලාපොරොත්තුව?

මගේම කියලා චිත්‍රපටයක් කරන්න.

අපගේ කතාබහ අවසන් කරන්නට මත්තෙන් ඔබට මේ ආ ගමන් මඟේ ස්තුති කරන්න පිරිස ඇති. ඒ අය මතක් කරමු?

වී. සිවදාසන්, සනත් ගුණතිලක, සුනිල් ටී. ප්‍රනාන්දු, රංජිත් ද සිල්වා, තුසිත ද සිල්වා, සුනිල් ධර්මසිරි, සුමිත් හිරාන් ප්‍රනාන්දු, ඒ. ඒ. ජුනයිඩීන්, සනත් අබේසේකර, චාමර සමරවික්‍රම සහ මාව දිරිමත් කරන අනුරාධ ටෙනිසන්, අයේෂා ප්‍රියන්ජලී, බුද්ධි කමල්, මගේ තාත්තා ලාල් ගුණතුංග වගේම අපේ චිත්‍රපට නරඹන රසිකයන් හා මගේ මිතුරන්.

(දිනමිණ පුවත්පත ඇසුරෙනි)

Keerthi Ruwan Lalson Latest News

NO COMMENTS

LEAVE A REPLY