අලුත් අයට ඕනෙ මොනවා හරි කරලා සල්ලි හොයන්න – මහේෂ් දෙණිපිටිය Mahesh...

අලුත් අයට ඕනෙ මොනවා හරි කරලා සල්ලි හොයන්න – මහේෂ් දෙණිපිටිය Mahesh Denipitiya Hot Gossips

378
0
SHARE
Mahesh Denipitiya Hot Gossips

අලුත් අයට ඕනෙ මොනවා හරි කරලා සල්ලි හොයන්න – මහේෂ් දෙණිපිටිය

 

* මහේෂ් දෙණිපිටිය සංගීත අධ්‍යක්ෂවරයෙක් හැටියටයි මිනිස්සු අතර ප්‍රචලිත. එහෙත් පසුගිය කාලය පුරාවට ඔබේ සංගීත නිර්මාණ දැකගන්න ලැබුණේ නැහැ. ඒ ඇයි මුලින් ඒ ගැන කතා කරලම කතාබහට ප්‍රවිෂ්ට වෙමු..?

පසුගිය කාලය පුරාවටම හොඳ නිර්මාණයකට සංගීත අධ්‍යක්ෂණය කරන්න අවස්ථාවක් උදා කරගත්තේ නැහැ, දේශීය හා විදේශීය සංගීත ප්‍රසංගවලට වැඩි ඉල්ලුමක් තිබුණ නිසා. ඒ දේවල්වලට සම්බන්ධ වුණා. ඒ නිසා සංගීත අධ්‍යක්ෂණය කියන දෙයින් ටිකක් ඈත් වුණා. නමුත් සංගීත අධ්‍යක්ෂණයට හුඟක් ආරාධනා ලැබුණා. සමහර ආරාධනා පිළිගත්තා. ඒ පිළිගත්ත ආරාධනා වගේම හොඳ නිර්මාණවලට සංගීත අධ්‍යක්ෂණ කටයුතු ඉදිරියේ දී ආයෙමත් පටන්ගන්න ඉන්නේ.

* සංගීත අධ්‍යක්ෂණයේ දී ඔබ මතයක් දරන සංගීත අධ්‍යක්ෂවරයෙක්. එහෙත් ඔබ නිතරම අලුත් නිර්මාණකරුවන්ට සංගීත අධ්‍යක්ෂණ කටයුතු කරනවා. අලුත් පරම්පරාව එක්ක ගැටෙන්න ඔබට පුළුවන් ද?

ඇත්තටම කිව්වොත් අලුත් පරම්පරාවේ අය සංගීත ක්‍ෂේත්‍රයට එන්නේ අනන්‍යතාවක් නැතිව. ඒ අයට ඕන සල්ලි හම්බ කරගන්න මොනවා හරි කරන්න. රිඟින් ටෝන්වලට ගීත හදලා සල්ලි හොයන්න. එහෙම නැත්නම් සල්ලි වියදම් කරලා හරි ජනප්‍රිය වෙන්න. ඒත් ඒ අයගෙන් සමහර අයට හොඳ හඬක් නැහැ. අනන්‍යතාවක් නැහැ.

කාගේ හරි හඬක් අනුකරණය කරනවා. ඇත්තටම එහෙම අය එක්ක මට නම් වැඩ කරන්න අමාරුයි. මගේ ළඟට එන ඕනෑම කෙනෙක්ට හොඳ හඬක් තියෙනවා නම් හොඳ පද රචනයක් තියෙනවා නම් මම ඒකට සංගීත අධ්‍යක්ෂණය කරලා හොඳ නිර්මාණයක් හදලා දෙනවා. එහෙම නැතුව මම තෘප්තියක් නොලබා ඒ අයගේ නිර්මාණ කටයුතුවලට මගේ දායකත්වය මම ලබා දෙන්නේ නැහැ. ඇත්තටම එයාගේ සිස්ටම් එකට ගැටෙන්න අපට බැහැ. එයින් තෘප්තියක් මට ලබන්න බැහැ.

* පුංචි තිරයට හා රිදී තිරයට සංගීත අධ්‍යක්ෂණයෙන් දක්වන දායකත්වය කොයි වගේද?

සුවඳ දැනුණා ජීවිතේ, ආසයි මං පියාඹන්න, සුපර් සික්ස්, රන්කෙවිට දෙක වගේ හොඳ චිත්‍රපට කිහිපයක සංගීත අධ්‍යක්ෂණයෙන් සම්බන්ධ වුණා. ටෙලි නාට්‍යවලට ආරාධනා ලැබෙනවා. ඒත් ඒවාට වැඩි කාලයක් කැප කරන්න වෙන නිසා ලැබෙන ආරාධනා ප්‍රතික්‍ෂේප කළා. හොඳ චිත්‍රපට ලැබුණොත් ඉදිරියටත් ඒ වැඩකටයුතු කරනවා.

* මෙරට සංගීත ක්‍ෂේත්‍රයට හවායින් ගිටාරය හඳුන්වා දුන් මුල්ම සංගීතවේදියා ඔබේ පියා පැට්‍රික් දෙණිපිටියයි. ඒ ආභාසය ඇයි ඔබ ප්‍රගුණ කර මෙරට සංගීත ක්‍ෂේත්‍රයට එය එකතු නොකරන්නේ..?

මම හවායින් ගිටාර් වාදකයෙක් නමෛයි. ඒ වාදන භාණ්ඩය වාදනය කරන්න හුඟාක් අමාරුයි. තාත්තා නම් දක්ෂයෙක්. ඒ නිසා මම හවායින් ගිටාර් වාදනය ප්‍රගුණ කළේවත් සංගීත කටයුතුවලට යොදා ගත්තේවත් නැහැ.

තාත්තා සංගීත ක්‍ෂේත්‍රය වෙනුවෙන් ලොකු මෙහෙවරක් කළ කෙනෙක්. කවදාවත් මුදල මත වැඩ කළේ නැහැ. මිල්ටන් මල්ලවආරච්චි මහතා ගායනා කරන ජනප්‍රිය හුඟාක් ගීතවල මුල් සංගීත අධ්‍යක්ෂවරයා මගේ තාත්තා. සුනිල් ශාන්ත මහතා එක්ක පවා තාත්තා වැඩ කරලා තියෙනවා. සංගීතයට නිහඬව සේවය කළ කෙනෙක්. ඒත් මගේ වාදන භාණ්ඩය පියානෝව හා ගිටාර් වාදනය.

පූර්ණ කාලීනව සංගීතයට කාලය යොමු කළේ මම 2002 වර්ෂයේ. ඊට කලින් මම පරිගණක ඉංජිනේරුවරයෙක් හැටියට වැඩ කළේ. ඇතැම් අවස්ථාවල හවායින් ගිටාර් එක වාදනය කරන්න අවශ්‍ය තැන්වල දී මම සහභාගි වෙලා තියෙනවා. ඒත් ඒක දිගටම භාවිත කරන්න මගේ කැමැත්තක් නැහැ. හේතුව අමාරුම වාදන භාණ්ඩය නිසයි.

* සංගීතය ඔබට ඕපපාතිකයක් නමෛයි. පුංචි කා‍ලේ ඉඳලා සංගීත භාණ්ඩයන්හි තත් පිරිමදින හඬ හා තාල තරංග හඬ ඇහෙන්න ඇති. කුඩා අවධියේ දී සංගීතයට ඔබේ දායකත්වය කොයි වගේද?

මම ඉගෙන ගත්තේ බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයෙන්. ඉගෙනගන්න දක්ෂයි. සාමාන්‍ය පෙළ පන්තියේ දී දක්ෂතාවලට රන් පදක්කම් පවා අරගෙන තියෙනවා. අපේ තාත්තා සංගීතය නිසා හුඟාක් මහන්සි වුණා. කැපකිරීම් කළා. අද කා‍ලේ වගේ නමෛයි මුදල් ලෙහෙසියෙන් උපයන්න බැහැ. ඒ නිසා තාත්තට ඕන වුණා මටත් නංගීටත් අයියටත් හොඳට උගන්වන්න. මම ඉගෙනගන්න දක්ෂ නිසා පරිගණක ඉංජිනේරු පැත්තෙන් ඉදරියට ගියා. කවදාවත් ඉගෙනීමට බාධාවක් වෙන විදියට සංගීත කටයුතුවලට සම්බන්ධ වුණේ නැහැ.

පුංචි කා‍ලේ ඉඳලා සංගීත දැනුම නම් මගේ ඇඟේ අදටත් ගබඩා වෙලා තියෙනවා. ඒ තරමටම සංගීතය මගේ ජීවිතේට සමීපයි. ඒ නිසාම මම පුංචි කා‍ලේ ඉඳලා තාත්තා එක්ක ගීත පටිගත කරන්න යනවා. ජෝතිපාල, අමරදේව වැනි ප්‍රවීණයින්ට ගීත පටිගත කරද්දී ඒවාටත් සමහර ගීත පටිගත කිරීම්වලටත් මම වාදනයෙන් සම්බන්ධ වෙලත් තියෙනවා. ඒ වගේම තාත්තාගේ සංගීත කණ්ඩායමේ ගිටාර් වාදකයෙක් විදිහට සම්බන්ධ වුණ අවස්ථාත් තියෙනවා. ඒ වගේම ඒ කා‍ලේ ස්වාධීන රූපවාහිනියේ, ජාතික රූපවාහිනියේ වැඩසටහන්වලට තාත්තා එක්ක සම්බන්ධ වුණා. ඒ කා‍ලේ මම පුංචියි. ඒත් ඒවාට මගේ දක්ෂතාව තාත්තා එකතු කර ගත්තා. ඇත්තටම පුංචි කා‍ලේ නම් මම සංගීතය උපරිමයෙන් රසවින්දා. අත්හදාබැලීම් කළා.

* ඔය වැඩකටයුතු නිසා ළමා කාලය හරිහැටි විඳින්න බැරි වෙන්න ඇති?

සංගීත වැඩකටයුතු හා අධ්‍යාපන වැඩකටයුතු එක්ක මගේ ජීවිතේ ගෙවුණත් මම ළමා කාලය වින්දා, යාළුවෝ එක්ක සෙල්ලම් කළා. ක්‍රිකට් ගැහුවා. ඒ වගේම නාරාහේන්පිට ලංකා චිත්‍රාගාරය ළඟ තමයි අපේ ගෙදර තිබුණේ. තාත්තා චිත්‍රපටවලට පසුබිම් සංගීතය කරන්න යනවා. මමත් සිකුරාදා දවස්වලට ගිහින් හැම චිත්‍රපටයක්ම බලනවා ඒවා තිරගත වෙන්න කලින්. ඒ වගේ ජීවිතේ විඳින්න ඕන කා‍ලේ ජීවිතේ වින්දා.

* සංගීතය කියන්නේ ඔබට උපතින් ආ දෙයක්. එහෙත් පරිගණක ඉංජිනේරු විද්‍යාව ඔබ මහන්සියෙන් ඉගෙනගත් විෂයක්. සංගීතය නිසා ඒ හැදෑරීම අතහරින්න වුණ එක ගැන දුකක් නැද්ද?

සමහර විට මම හොඳට සංගීතය ඉගෙන ගත්තා නම් සංගීත ක්‍ෂේත්‍රය තුළ මහේෂ් දෙණිපිටිය කියන පුද්ගලයා මීට වඩා ඉදිරියෙන් ඉඳීවි. පරිගණක ඉංජිනේරු විෂය නිසා මම 80 දශකයේ ගීතවලට ඒ තාක්ෂණය යොදා ගත්තා. මම දැන් පරිගණකයෙන් මිදිලා ඉන්නේ. පරිගණකය කියන්නේ මනුස්සයා අබිබවා ගිය දෙයක්. ඊට වඩා දෙයක් මට සංගීත භාණ්ඩවලින් කරන්න පුළුවන්. කය, මනස, රසය වෙනුවෙන් මට වෙහෙසෙන්න පුළුවන්. ඒ නිසා මම දුක් වෙන්නේ නැහැ, ඒ විෂයෙන් බැහැර වුණා කියලා. ගීත පටිගත කරන අවස්ථාවල දී ඒ තාක්ෂණය අවශ්‍ය වුණොත් එය උපයෝගී කර ගන්නවා. ඒ වගේම කලාව කියන්නේ අනිත් රස්සාවන්ට වඩා බලගතු දෙයක්.

කලාව කියන දේ පරණ වෙන්නේ නැහැ. ඒ බලගතු දේට මම කැමැතියි. ආදරෙයි.

* දරුවෝ ගැන මතක් කරමු..?

පුතා එෂාන් දෙණිපිටිය. එයාගේ වයස අවුරුදු දහනවයයි. දුව දුලානි දෙණිපිටිය එයාගේ වයස අවුරුදු විසි එකයි. මේ දෙන්නම සංගීතයට දක්ෂයි. පුතා එල්.ටී.සී.එල්. කියන සංගීත විභාග හොඳින් සමත් වුණා. පියානෝ වාදනයෙන් මගේ තාත්තා මට සංගීතය විෂයක් හැටියට ඉගෙන ගන්න දුන්නේ නැති නිසා මම පුතාට එයාගේ කැමැත්න අනුව සංගීතය ඉගෙන ගන්න ඉඩ දුන්නා. පුංචි කා‍ලේ ඉඳලා සංගීතය විෂයක් විදියට ඉගෙන ගත්තා. දැන් එයා විදෙස්ගත වෙනවා වැඩිදුර අධ්‍යාපනයට. දුව වාස්තු විද්‍යාව පිළිබඳ ඉගෙන ගන්නවා කටුබැද්ද විශ්ව විද්‍යාලයෙන්. මගේ බිරිඳ නන්දිතා. එයා වාස්තු විද්‍යාඥවරියක්. දුවටත් ඕන වුණා අම්මා වගේ ඒ පැත්තෙන් යන්න. ඒ නිසා එයාගේ කැමැත්තට ඒ විදියට ඉඩ දුන්නා.

* බිරිඳ වුණ නන්දිතාව එදා පෙම්වතිය හැටියට ඔබ හඳුනා ගත්තේ විශ්ව විද්‍යාලයේ දී නේද? ඒ ගැනත් මතක් කළොත්..

කටුබැද්ද විශ්ව විද්‍යාලයේ දී තමයි මට ඇය මුණගැහෙන්නේ. අපි එකට භක්ති ගීත කියන්න යනවා. හොකී ක්‍රීඩාව කළා. ටේබල් ටෙනිස් ක්‍රීඩා කළා. ඒ අවස්ථාවල දී අපි දෙන්නා නිතරම මුණ ගැසෙනවා. ඒ කා‍ලේ මම ටිකක් ජනප්‍රියයි. රූපවාහිනි වැඩසටහන්වල හිටපු නිසා. ඒ දැනහඳුනාගැනීම තමයි විවාහය දක්වා ගියේ.

හර්ෂණී වීරරත්න/ඡායාරූප – දමිත් වික්‍රමසිංහ

NO COMMENTS

LEAVE A REPLY