කොච්චර කෙට්ටු වුණත් මහත්තයාට තවමත් මම මහතයිලු – පබෝධා සංදීපනී – paboda...

කොච්චර කෙට්ටු වුණත් මහත්තයාට තවමත් මම මහතයිලු – පබෝධා සංදීපනී – paboda sandeepani with her husband

562
0
SHARE
paboda sandeepani with her husband

මේ දවස්වල අපේ රටේ සිනමා ප්‍රේක්ෂකයන් අතරේ වැඩිපුරම කතාබහ වෙන්නේ කවුරු ගැනද කියලා ඇහුවොත් තියෙන්නේ එකම උත්තරයයි. ඒ තමයි පබෝධා සංදීපනී. පබෝදා ගැන කතා කරද්දී වැඩිපුර කතා වෙන්නෙත් ඇගේ පෙනුම ගැන. අපිත් පබෝධාව මුණගැහෙන්න ගියේ හැමෝම හොයන ‘පබෝධාගේ පෙනුමේ රහස” හොයා ගන්න පුළුවන්ද කියලා බලන්න. අපි පබෝධාව මුණ ගැහෙන්න යද්දී පබෝධා හිටියේ පුංචි ස්වේන්ගේ සුරතල් බලමින්.

“මේ දවස්වල වැඩිපුර වැඩ තියෙන්නේ ගෙදර කියලයි බැලුව නම් පේන්නේ”
එහෙම අහලා කතාව පටන් ගත්තොත් හොඳයි කියලා මට හිතුණේ ස්වේන් පබෝධා ළඟ හිටපු නිසා.
“ඇත්තටම මේ දවස්වල වැඩිපුර ඉන්නේ ගෙදරම තමයි. වැඩ දෙක තුනකට කතා කරලා නම් තියෙනවා. ඒත් ඒ වැඩවලට තාම හරියට දින දාගෙන නැහැ. කොහොමටත් මම භාර ගන්නේ ළඟපාත තියෙන වැඩ තමයි. පුතාගේ හුරතල් වයසනේ. දාලා යන්න හිතෙන්නෙත් නැහැ.”

දවසක් දෙකක් පබෝධාට ගෙදර ඉන්න බැරි වුණොත් ආපහු ගෙදර ආවාම පුතාගෙන් තියෙන්නේ කොයි වගේ ප්‍රතිචාරයක්ද?
දවසක්, දෙකක් පිට ඉන්න ඕන නැහැ. උදේට ගිහින් හවසට ආවත් මෙයාගේ ප්‍රතිචාර හොඳටම බලන්න පුළුවන්. මම වුණත් සිදත් වුණත් එහෙම ගිහින් ආවම අපිව ගණන් ගන්නෙම නැහැ. පුතා වැඩිපුරම එකතු සිදත්ගේ තාත්තයි, අම්මයි එක්ක. එයාලා ඉන්නවා නම් මගෙනුයි සිදත්ගෙනුයි එයාට වැඩක්ම නැහැ. රෑට නිදියන්න යන වෙලාවට මම නැති වුණොත් නම් ටිකක් හොයනවා. නැත්නම් මම නැති වුණාට එයාට පාඩුවක් නැහැ.”
පබෝධා ස්වේන් ගැන අපිට එහෙම කියද්දී පුංචි ස්වේන් අපිට එයා දන්න වැඩ පෙන්නන්න පටන් ගත්තා. සෙල්ලම් බඩු ටික අරගෙන අපට පෙන්නමිනුයි එයා අපේ අවධානය ගන්න හැදුවේ.
අපේ සුදු පුතා ඉතිං ඔහොම තමයි කවුරුහරි ආවාම දන්න ඔක්කෝම සෙල්ලං ටික පෙන්නලා යාළු කර ගන්නවා” ස්වේන් කරන දේවල් දිහා බලාගෙන හිටපු පබෝධා අපිට කිව්වා.

පබෝධාව ටී. වී. එකේ එහෙම දැක්කම පුතා හඳුන ගන්නවද?
ටී.වී. එකේ නම් එයාට වැඩිය මාව පෙනුණේ නැහැනේ. හැබැයි එදා මුලින්ම ගින්දරී බලන්න ගියපු දවසෙ නම් ස්ක්‍රීන් එකේ මාව දැකලා ඇඬුවා. සමහර විට ලොකු රූපයක් පෙනුණ නිසා වෙන්නත් ඇති. හැබැයි ඒ බයවෙලා “අම්මා අම්මා” කියලා ආවෙත් මගේ ළඟට. එයා බැලුවද දන්නේ නැහැ එකම වෙලාවේ අම්මා දෙතැනක ඉන්නේ කොහොමද කියලා.

“ගින්දරී ගැන මතක් කරපු නිසා අපට කියන්න ගින්දරීගේ රූ සපුවේ රහස ගැනත්” පුතා ගැන කතාව ටිකක් වෙනස් කරපු මම ඇහුවා.

‘ගින්දරීට ආරාධනා ලැබෙද්දී මම ටිකක් මහතයි. කෙට්ටු වෙන්න මට තිබුණේ මාස එකහමාරයි. මාස එකහමාරකදී මම ව්‍යායාම කරලා ඇග කෙට්ටු කර ගත්තා. කෑම ගැන නම් ලොකු සැලකිල්ලක් කළේ නැහැ. ඒ වුණාට කොහොම හරි කෙට්ටු වුණා. හැබැයි මම කොච්චර කෙට්ටු වුණත් මගේ මහත්තයා සිදත්ට නම් මම තාම මහතයි. මේ ළඟදිත් උදයකාන්ත අයියා මම කෙට්ටු වුණු හැටි ගැන කියපු වෙලාවක සිදත් කිව්වා ‘අයියෝ ඒ වුණාට මෙයා තාම මහතයිනේ’ කියලා. මම කොච්චර කෙට්ටු වුණත් එයා කියන්නෙම මහතයි කියලා. ඒ දවස්වල චිත්‍රපටයට ඕන නිසා ඇඟ කෙට්ටු කර ගත්තාට පෙනුම ගැන හිතලාම ලස්සන වෙන්න කියලා දේවල් මම කරන්නේ නැහැ.”

“එතකොට ඇඳුම් පැලඳුම් ගැන තියෙන සැලකිල්ල,”
මගේ ඇඳුම් පැලඳුම් ගැන මට වඩා හිතන්නේ සිදත්. මහත්වරු නෝනලත් එක්ක ෂොපින් යන්න එහෙම වැඩිය කැමැති නෑනේ… ඒ වුණාට සිදත් නම් කැමැතියි මම ඇඳුම් ගන්න ගියාම වටේම ඇවිදලා “අනේ හරියන එකක් නෑනේ” කියලා ආපහු එන්න හදනකොට සිදත් කැමැත්තෙන්ම ඇවිත් ඇඳුම් තෝරලා දෙනවා. ‘ඇඳුම් නෑ කියන්නේ බොරුනේ’ කියලා මට හරියන ඇඳුම් ගෙනැල්ලා ෆිට්ඕන් කරන්න දීලා ඇඳුම් තෝරන්නේ සිදත් තමයි. ෆැෂන් සෙන්ස් එක පැත්තෙන් සිදත් තමයි ඉස්සරහින් ඉන්නේ.”

“අම්මා කෙනෙක් වුණාට පස්සේ පබෝධා තමන්ටම දාගත්තු තහංචි තියෙනවද?”
‘අම්මා කෙනෙක් වෙන එක ලොකු සතුටක්. හැබැයි ඒ සතුට හොඳටම දැනෙන්නේ නියම වයසේදි අම්මා කෙනෙක් වුණොත් තමයි. මම ටිකක් පහුවෙලා විවාහ වුණේ. මට පුතා ලැබෙද්දී මට ජීවිතේ ගැන තේරෙනවා. ජීවිතේ ගැන මට තිබුණු තේරුම් ගැනීම නිසා අම්මා කෙනෙක් වුණා කියලා වෙනස් කරගන්න ඕන කියලා දේවල් මගේ ජීවිතේ තිබුණේ නැහැ. මගේ ඇඳුම් පැලඳුම් වුණත් මම තෝරා ගන්නේ මට සහ මගේ මහත්තයා කැමැති විදියට. මට හිතෙනවා අම්මා කෙනෙක් වෙනවා කියන එක ජීවිතේට තහංචි දානවා නමෛයි, ජීවිතේට තවත් ලස්සනක් එකතු කරන්න හේතුවක් කියලා.

“ඒ වුණාට අම්මා කෙනෙක් වෙනවා කියන්නේ වගකීමක්නේ?”
“විවාහය, දරුවෝ ලැබෙන එක ජීවිතේට වගකීමක් කියලා හැමෝම කියනවා තමයි. ඒ වුණාට මට නම් විවාහයවත්, අම්මා කෙනෙක් වීමවත් ලොකු වගකීම් කියලා දැනෙන්නේ නැහැ. සමහර විට මට ගොඩක් අය උදව් කරන එකත් මට ලොකු වගකීමක් නොදැනෙන්න හේතුවක් වෙන්න ඇති. සිදත්ගේ අම්මා, තාත්තා මගේ අම්මා හැමෝම මට උදව් කරනවා. ඒ අතින් මම වාසනාවන්තයි කියලා මට හිතෙනවා. මොකද හැම කෙනෙකුටම දෙපැත්තෙම අම්මලා, තාත්තලාගේ උදව් හම්බ වෙන්නේ නැහැනේ.

පුතාගේ වැඩවලට හැමෝම පබෝධාට උදව් කරන නිසා සිදත් ගැන හොයලා බලන්න පබෝදාට වැඩි වෙලාවක් තියෙනවා ඇති.”

“සිදත්ගේ වැඩ ටික තනියම කරගන්න සිදත් පුරුදුවෙලා තියෙන්නේ. ඇඳුම් පවා තෝරා ගන්නේ එයානේ. මට තියෙන්නේ එයාගේ වැඩවල හොඳ නරක කියන්න විතරයි.’

“වැඩවලින් නිදහසක් නොලැබුණොත් පුංචි පවුල මොකද කරන්නේ?”
සිදත් කරන්නේ එයාගෙම ව්‍යාපාරයක් නිසා අපිට වුවමනා වෙලාවට නිවාඩුවක් හදා ගන්න එක අමාරු නැහැ. හැබැයි මමයි, සිදතුයි දෙන්නම උත්සාහ කරන්නේ වැඩි වෙලාවක් පුතා එක්කම ඉන්න. පුතාට ආදරේ තමයි ගොඩක්ම ඕන. එයත් එක්ක සෙල්ලම් කර කර එයා කියන දේවල් අහගෙන ඉන්නවාටයි එයා කැමැති.”

පබෝධා කියපු දේ ඇත්තක්. අපි කතාබහ කරමින් ඉන්න අතරතුරදී නොයෙක් සෙල්ලම් බඩු පෙන්වමින් අපට ගෙනැවිත් දෙමින් හිටපු පබෝධාගේ සුදු පුතා හිටියේ අපිත් එක්ක හොඳට යාළු වෙලා.

“එයා කියන දේවල් කර කර ඉන්න කෙනෙක් හම්බ වුණොත් එයාට අම්මාව මතක නැහැ.” පුතාගේ සුරතල් වැඩ දැකපු පබෝධා එහෙම කිව්වා.

“පුතා රඟපාන්න ගන්න ඉල්ලලා නැද්ද?”
කවුරුවත් දන්නේ නැති වුණාට මෙයා දැන් නළුවෙක්. ගින්දරී චිත්‍රපටයේ පුතා ඉන්නවා.

“එහෙනම් අපිට පුංචි නළුවාගේ පින්තූර ටිකක් ගන්න පුළුවන් වෙයිනේ.” කියලා මම කිව්වාම ‘පුතා ෆොටෝ’ කියලා පබෝධා පුංචි ස්වේන්ට ඉඟියක් දුන්නා. ඒ එක්කම වෙනුර කැමරාවත් අතට ගත්තා. ඒත් කැමරාව දැකපු ගමන් අපේ පුංචි නළුවා කළේ බිම වාඩිවුණු එක.

“එයා ඔහොම තමයි. ෆොටෝ ගමු කියද්දී කරන්නෙම බිම වාඩිවෙන එක. කොහෙන් පුරුදු වෙලාද දන්නේ නැහැ. අනික ෆොටෝ ගනිද්දී මෙයා හිනා වෙන්නෙම නැහැනේ. එකම එක ක්‍රමයයි තියෙන්නේ හිනාගස්වන්න. මලක් කඩලා අතට දුන්නම එයා මල් පෙති කඩ කඩ ඒ දිහා බලාගෙන හිනා වෙනවා.”

පබෝධා එහෙම කිව්වට මිදු‍ලේ එහාට මෙහාට දුවමින් හිටපු පුංචි ස්වේන් එක පාරටම ලස්සන ෆොටෝවලට ඉඩ නොදුන්නා ‍නෙවෙයි. පබෝධාව කතා කරවන්න ගියපු අපි අන්තිමට කරලා තිබුණේ පුංචි ස්වේන්ගේ ඉන්ටර්වීව් එකක්. පින්තූරවලත් වැඩිපුර හිටියේ පුංචි නළුවා ස්වේන්, අම්මයි, පුතයි එකට තියලා පින්තූර ගනිද්දී නම් පබෝධා මුලින් කියපු “මල් කැඩීමේ” උපක්‍රමයෙන් ස්වේන්ව හිනහගස්සන්න අපට සිද්ධ වුණා.

“පබෝධත් පුංචි කා‍ලේ අම්මා එක්ක මේ විදියට පින්තූර අරගෙන ඇති නේද?
අම්මාගෙයි, පුතාගෙයි පින්තූර ගන්න අතරතුරදී මම පබෝධාගෙන් එහෙම ඇහුවේ පබෝධාගේ අම්මා ගීතා කාන්ති ජයකොඩි එදත් අදත් ගොඩක් දෙනෙක් ආදරේ කරන රංගන ශිල්පිණියක් නිසා.

“ඒක තමයි මමත් මේ මතක් කළේ. ඒ කා‍ලේ අද තරම්ම ලස්සන පින්තූර, පත්තරවල ගියේ නැහැ. ඒත් අම්මා නිසා, අම්මාගේ දුව නිසා මට වෙනම ම ජනප්‍රියකමක් ලැබුණා. අද මට මගේ කියලා ජනප්‍රියකමකුත් තියෙනවා. පුතාටත් මට පුංචි කා‍ලේ ලැබුණු වාසියම තියෙනවා.

පබෝධා එහෙම කියලා කතාව නතර කරද්දී වෙනුරගේ කැමරාව අම්මාගෙයි, පුතාගෙයි ලස්සන පින්තූර ගන්න ආයෙත් සූදානමින් තිබුණා.

ඡායාරූප : වෙනුර චන්ද්‍රමාලිත  | නෙලූෂා සිල්වා

rivera

NO COMMENTS

LEAVE A REPLY