කොළඹ බෝඩිං ගෙදර කෙල්ල හිටියේ නැත්නම් අද සෝමසිරි මැදගෙදර ගායකයා නොඉන්න තිබුණා...

කොළඹ බෝඩිං ගෙදර කෙල්ල හිටියේ නැත්නම් අද සෝමසිරි මැදගෙදර ගායකයා නොඉන්න තිබුණා Somasiri Medagedara Hot Gossip

348
0
SHARE
somasiri medagedara Hot Gossip

සඳයි තරුයි රිදවන්න එපා. ඔබේ ආදරේ මහ සාගරේ වැනි ගීත එක රැයින් ජනප්‍රිය වූවා සේම වසර තිස් පහක් පුරාවට ඒ ගීත එදා සේම රසික හදවත්වලට සමීපයි. වසර තිස්පහක සංගීත ජීවිතයේ තොරතුරු විමසන්න ඒ හඬට අපි කතා කළා.

සෝමසිරි මැදගෙදර ප්‍රවීණ ගායන ශිල්පියා රිවිර මියුලැසියට අතීතාවර්ජනය කළේ මෙලෙසිනුයි.

අවුරුදු තිස් පහක් පුරාවට ඔබ ගීතයෙන් රසික හදවත් පිනවලා තියෙනවා. ඒත් අලුත් ගීත සංගීත ක්ෂේත්‍රයට දායාද කළා අඩුයි නේද?

එක දිගට අලුත් ගීත නිර්මාණය කළේ නැහැ. එක හේතුවක් තමයි දැන් පවතින රැල්ලට ගීත නිර්මාණය කිරීමට තියෙන අකමැත්ත. ඒත් ඒ ස්වයංවාරණයෙන් ඉවත් වෙන්න මම තීරණය කළා. ඒ නිසා අවුරුදු පහකට පස්සේ අලුත් ගීතයක් නිර්මාණය කළා.

මේ ගීතය මට සංගීතවත් කරලා දුන්නේ මගේ පුතා යසස් මැදගෙදර. පද සජිත් අක්මීමනගේ. “එදාටත් වඩා මං කියන” මේ ගීතය ප්‍රේමණීයයි. පැරණි රසය නිර්මාණය තුළ තියෙනවා. ඒත් නූතන රසයත් එක්කළා. මම හිතනවා මේ ගීතය අතිශයින් ජනප්‍රිය වෙයි තරුණ තරුණියන්ගේ හදවත් මේ ගීතයට ඇදිලා එයි කියලා.

ප්‍රවීණයන් අද රැල්ලට ගයන්නෙත් ගීත සඳහා රූප රචනා එක් කරන්නේ හරිම අඩුවෙන්. වසර තිස්පහක් සංගීත ක්ෂේත්‍රයේ හිටියත් ඔබේ පළමු රූප රචනය නිර්මාණය වෙන්නේ 2015 වර්ෂයේදී නේද?

ඔව්. “එදාටත් වඩා මං” ගීතයට තමයි මුලින්ම මම රූප රචනයක් කළේ. කවදාවත් ගීතයකට රූප රචනයක් කරනවා කියලා හිතුවේ නැහැ. ඒ රැල්ලට මම සම්බන්ධ වෙන්නේ නැහැ කියලා හිතුවා. ඒත් අපේ හැකියාව තවදුරටත් රඳවා ගන්න නම් ඉඳලා හිටලා හරි ගීත නිර්මාණය කරන්න සිද්ධ වෙනවා. ඒ වගේ තමයි රූප මාධ්‍යයත්. ඉස්සර ගුවන්විදුලිය විතරයි තිබ්බේ. ඒත් දැන් රූප මාධ්‍යයට මිනිස්සු ඇබ්බැහි වෙලා.

අපිටත් ඒකට හැඩ ගැහෙන්න වෙනවා. ඒ නිසා මේ ගීතයට රූප රචනයක් නිර්මාණය කරලා රසික ප්‍රතිචාර කොයි වගේද කියලා අත්හදා බලන්න කල්පනා කළා.

රූප රචනය නිසා සෝමසිරි මැදගෙදර කියන ගායකයාගේ ප්‍රතිරූපයට හානියක් වෙයිද?

මම හිතන්නේ එහෙම වෙන්නේ නැහැ කියලයි. මට වසර 35 ක් පුරාවට එක වගේ ආදරය කළ පිරිසක් ඉන්නවා. මේ ගීතය හා රූප රචනය ඔස්සේ ඒ අයට අලුත් අත්දැකීමක් ලබන්න පුළුවන්. ඒත් ඒක පැරණි රසයට හානියක් වෙන්නේ නැහැ. ඒ නිසා මගේ නමට හානියක් වෙයි කියලා හිතන්නේ නැහැ.

ඔබ වගේම හඬත් වියපත් වෙලා. ඒ නිසා ඉස්සර වගේම ඔබේ හඬට අදත් රසික ප්‍රතිචාර ලැබෙනවාද කියලත් කියමු?

මම වගේම මගේ හඬත් වියපත් වෙලා. ඒත් හ¾ෙඩ් වියපත් බව ගීතයේදී ඉස්මතු වෙලා පෙනෙන්නේ නැහැ. දැනෙන්න තරම් වෙනසක් නමෛයි. ඇහෙන හඬ තරුණයි වගෙයි. ගායනයේදී මගේ හඬ වෙනස් වෙන්නේ නැහැ. ඉස්සර ලැබුණු ප්‍රතිචාර මම වියපත් වුණත් එදා වගේම ලැබෙනවා. අපිව අදටත් තෘප්තිමත් කරන්නේ ඒ ප්‍රතිචාර කියලයි මම නම් හිතන්නේ. ඒ තෘප්තිය ලබන්න, ප්‍රතිචාර ලබන්න මම තවමත් වාසනාවන්තයි.

සංගීත ක්ෂේත්‍රයේ ගෙවුණු වසර තිස් පහ නිමිති කරගෙන ඒක පුද්ගල ප්‍රසංගයක් පවත්වනවා කියන්නේ ඇත්තද?

ඔව්. වසර තිස් පහක් සම්පූර්ණ වුණාට අගෝස්තු මාසේ 16 දා සවස 6.30ට මහරගම යොවුන් රඟහ‍ලේදී නොමි‍ලේ පවත්වනවා “තිස් පස් වසරක ගී සැමරුම” කියලා. එදාට මගේ ලොකු පුතා යසස් වගේම දුව ප්‍රථම වරට මාත් එක්ක ගී ගයනවා. මට ආදරය කරන සියලු දෙනාට එදාට ඒ ප්‍රසංගය නරඹන්න පැමිණෙන්න පුළුවන්. සංගීතය සපයන්නේ සරත් ද අල්විස් මහතා ප්‍රමුඛ ගුවන්විදුලි සංගීත කණ්ඩායම. මට යුග ගීතයෙන් සම්බන්ධ වුණු ගායිකාවන් එදාට ගී ගයනවා මාත් එක්ක.

වසර තිස් පහක් පුරාවට ඔබ සංගීත ක්ෂේත්‍රයට සේවයක් කළ ගායකයෙක්. දරුවන්ව සංගීතයට යොමු කිරීමේ වපසරිය ඔබ තුළ තිබියදීත් ඔවුන්ව ප්‍රසිද්ධ මාධ්‍යයකට යොමු කරන්න ප්‍රමාද වුණේ ඇයි?

ලොකු පුතා යසස් මැදගෙදර එයාගේ වයස අවුරුදු විසි හතරයි. ශබ්ද පරිපාලකවරයෙක්. එයාට ශබ්දාගාරයක් තියෙනවා. ‍පොඩි පුතා සහන් මැදගෙදර. වයස අවුරුදු විසි එකයි. දුවට වයස අවුරුදු දාහතයි. එයාගේ නම යශෝදා රසාංජලී. මේ තුන්දෙනාම සංගීතයට දක්ෂයි. ඒත් මට කොයිම වෙලාවකවත් බල කරන්න බෑ මං වගේ ගායකයෙක් වෙන්න කියලා. අවශ්‍ය කාලයට අධ්‍යපනය හදාරන්න ඕන.

ඒ අය ඒ දේවල් කළා. දුව නම් තවම ඉගෙන ගන්නවා. සංගීතයට යොමු වෙන්නත් දෙවියන්ගේම කැමැත්තක් තියෙනවා. ඉතින් ඒ අයගේ මාර්ගය ඒ අයම හොයා ගනියි.

ඒ ගමන යන්න මම උදව් කරනවා. සංගීතය වුණත් වෙන දෙයකට වුණත්.

සංගීත ප්‍රසංගවලට තියෙන ඉල්ලුම කොහොමද?

තවමත් ඉල්ලුම එහෙමමයි. ඉස්සර වගේම සංගීත ප්‍රසංගවලට ආරාධනා ලැබෙනවා. ඒ ආරාධනාවලට මම ගී ගයනවා. වැඩිපුරම ප්‍රසංග වේදිකාවේදී ඉල්ලන්නේ මගේ පරණ ගීත. ඒකත් ඇත්තටම සතුටට කරුණක්.

අද පරම්පරාවට මුදල් තිබුණා නම් ගායකයෙක් වෙන්න පුළුවන්. ඒත් එදා පරම්පරාවට ගායකයෙක් වෙන්න තිබුණ එකම සුදුසුකම දක්ෂතාවයි. සෝමසිරි මැදගෙදර කියන සාමාන්‍ය ජීවියා ගායකයෙක් වෙලා ප්‍රසිද්ධ වෙන්න හීන දැක්ක කෙනෙක්ද?

ඇත්තටම අද පරම්පරාවට ගායකයෙක් වෙන්න හරිම ලෙහෙසියි. මාධ්‍ය කිහිපයක් තියනෙවා. ඒ වගේම සමාජ මාධ්‍ය ජාලා මගින් ගීත ප්‍රසිද්ධ කරන්න පුළුවන්.

ඒ පහසුකම් ඒ කා‍ලේ අපිට තිබුණේ නැහැ. හරිම දුෂ්කරයි ගමන. මම ඉපදුනේ නුවරඑළිය වලපනේ කියන ගමේ. ගමත් දුෂ්කරයි. මම සාමාන්‍ය පෙළ හැදෑරුවේ වලපනේ සිද්ධාර්ථ මහා විද්‍යාලයෙන්. සාමාන්‍ය පෙළ කරද්දීම මම සංගීතය විෂයක් හැටියට ඉගෙන ගත්තා. උසස් පෙළ කළේ වලපනේ මිල්ටන්වත්ත විද්‍යාලයෙන්. මම හීන දැක්කෙම ගායකයෙක් වෙන්න. මට ඕන වුණා මම ගායනා කරන ගීත ගුවන්විදුලියේ ප්‍රචාරය වෙනවට. ඉස්සර තිබුණේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව විතරයි.

අපේ ගමේ හැමෝටම ගුවන්විදුලි යන්ත්‍රයක් තිබුණේ නැහැ. එහෙමත් කෙනෙකුට විතරයි තිබුණේ. අපේ ගෙදර ගුවන්විදුලි යන්ත්‍රයක් නොතිබුණු නිසා ගුවන්විදුලි යන්ත්‍රයක් තිබුණු ගෙදරකට ගිහින් ගීත අහනවා. එහෙම ගීත අහන දවසක තමයි මමත් ගායකයෙක් වෙන්න ඕන කියන සිතුවිල්ල ආවේ. ඊට පස්සේ ඒ සිතිවිල්ල ඇත්තක් කරගන්න මමම වෙහෙස ගත්තා.

ඒ හීනයට පාර කියන්නේ තරුණ සේවා සභාව එහෙම නේද?

ඔව්. මම උසස් පෙළ විභාගය අවසන් කළ ගමන්ම තරුණ සේවා සභාවට වර්ෂ 1980 වේදී බැඳිලා වසර තුනක් නිකේතයේ ලලිත කලා ඩිප්ලෝමාව කළා. එයින් සමත් වුණා. ඊට පස්සේ වර්ෂ 1984 දී තරුණ සේවා සභාවේම රැකියාවක් ලැබුණා. ඒ අතරතුර මුලින්ම ගීත හතරක් කළා. සඳයි තරුයි, රිදවන්න එපා, ඔබේ ආදරේ, සුමුදුවැල්ලට කියන ගීත හතර. මේ ගීත හතර අතිශයින්ම ජනප්‍රිය වුණා. ඒත් එක්කම ගුවන්විදුලියට ගී තැටියක් කළා. පුංචි කා‍ලේ ඉඳලා ගුවන් විදුලියක් දිහා බලාගෙන දැකපු හීනේ ඒ විදියට තරුණ සේවා සභාව නිසා මම ඉටුකර ගත්තා.

වලපනෙන් කොළඹට ආව සෝමසිරිගේ නවාතැන්‍පොළ වෙන්නේ කොළඹ නිවසක. ඒ නිවසේ හිටිය තරුණියකට පස්සේ කාලෙක බිරිඳ කරගත්තා නේද? ඒ ආදර කතාවේ සුන්දරත්වය ගැනත් කතාබහ අවසානයට පෙර මතක් කරමු?

තරුණ සේවා සභාවේ රැකියාව ලැබුණ නිසා මම කොළඹ ගෙදරක නවාතැන් ගත්තා. ඒ ගෙදර තරුණියක් හිටියා නීලා සෙනෙවිරත්න කියලා. ඇය මගේ රසිකාවියක්. මගේ ගීතවලට ආදරය කළ කෙනෙක්. නීලාගේ ගෙදර බෝඩිම වුණ නිසා නිතරම ඇයව මුණ ගැහෙනවා. හිනාවෙනවා. පුළුවන් වෙලාවට වචනයක් දෙකක් කතා කරනවා.

ඒ හිනාව, කතාබහ දුර දිග ගිහින් තමයි ආදරේ කළේ. අපේ ආදරයට දෙපාර්ශ්වයේම විරෝධතාවක් තිබුණේ නැහැ. මම සුරා සූදුවෙන් තොර කෙනෙක් නිසා නීලාගේ ගෙදරින් විරුද්ධ වුණෙත් නැහැ. ඊට පස්සේ ඉතින් අපි විවාහ වුණා. ඇය මගේ බිරිඳ වුණ නිසයි මේ තරම් දුරක් මේ ගමන ආවේ. සමහර විට ඇය මගේ ළඟ නොහිටියා නම් සෝමසිරි මැදගෙදර කියන ගායකයාගේ දක්ෂතා අතරමග නතර වෙන්න ඉඩ තිබුණා.

පුතා සමග ශබ්දාගාරයේදී gossips lanka news
  • Facebook
  • Twitter
  • Google+
  • Pinterest
  • LiveJournal
  • Gmail
  • Yahoo Mail

පුතා සමග ශබ්දාගාරයේදී

හර්ෂණී වීරරත්න

ඡායා – දමිත් වික්‍රමසිංහ

NO COMMENTS

LEAVE A REPLY