ලෝකෙම පුදුම කරවන ලංකාවේ ද්වි ලිංගිකයා | Sri lankan Doublesex

ලෝකෙම පුදුම කරවන ලංකාවේ ද්වි ලිංගිකයා | Sri lankan Doublesex

744
0
SHARE
Sri Lankan Doublesex Articles
Sri Lankan Doublesex Articles

ලෝකෙම පුදුම කරවන ලංකාවේ ද්වි ලිංගිකයා

මා අත්විඳි මේ පුදුමාකාර අත්දැකුම ඔබට මා කෙසේ ලියන්නද? මේ ලියන මොහොතේත් මා සිත නළියන සිතිවිල්ල එයයි. එහෙත් එය කෙසේ හෝ ඔබට ලිවිය යුතුමය.

ජීවිතය මොහොතින් ‍මොහොත අත්දැකුමෙන් ම අප සිත් පුරවන ගබඩාවක් වැන්න. එක් අත්දැකුමක් අප සිත් තුළට වැද තවත් මොහොතකින් නිරුද්ධව යයි. එහෙත් ඒ අතර සුවිසල් එමෙන් ම විසිතුරු පුදුම උපදවන්නාවූ ඇතැම් අත්දැකුමක් නැදි මයිලන්සේ අප අතැර නොයයි. කෙනෙකුට ජීවිතයේ කවරදාවත් මතකය හැර නොයන අන්දමේ එවන් යමක් මම ඔබට කියමි.

ඔබ මනුෂ්‍යයන් ගැන හොඳින් දනී. එක්කෝ ඔව්හු පිරිමි වෙති. නැත්නම් ගැහැනු වෙති. එසේත් නැත්නම් මේ දෙකට ම නැති නපුංසකයෝ වෙති. ඒ අතර කවරකු හෝ සිටිය හැකිද? උත්තරය ‘සිටී’ යන්න ය. ඔව්හු නම් ද්විලිංගිකයෝය. තථාගතයන් වහන්සේ වදාළ “උභතොදණ්ඩක” නම් පිරිස මේ අය ද?

මට එවන් තරුණියක් රාගම බැසිලිකා දෙව් මැදුරේදි මුණ ගැසිණ. ඇයට පුරුෂ නිමිත්ත මෙන් ම ස්ත්‍රී නිමිත්ත යන දෙකම පිහිටා ඇත. රාගම රෝහලේ වෛද්‍යවරු රහසේ අවුරුදු ගණනාවක් ඇය ගැන පරීක්ෂණ පැවැත්වූහ. ඇය ගැන වාර්තා දැන් ලෝකය පුරා වෛද්‍ය කණ්ඩායම් අතට පත්වී තිබේ. තව ම ඒ පරීක්ෂණ හමාර නැත.

උපතින් අපහට උරුම වන යමක් කිසිවකුට වෙනස් කර ගන්නට බැරිය. ඉපදුණාට පසු කෙනෙකු තම ජීවිතයට එකතු කරගන්නා වැරැදි පුරුද්දකට සාවඥ සිනාවක් පෑම වරදක් නැත. ඉන් වැරැදි කරන්නා නිවැරැදි කර ගැනීමට යම්බඳු සානුබලයක් ලැබිය හැකි බැවිනි. එහෙත් අඳ, ගොළු, බිහිරි, ආබාධිත, නපුංසක, ද්විලිංගික මෙවන් කෙනෙකුට ජීවිතය ගොඩනඟා ගැනීමට සවිමත් අත්වැලක් වනු වෙනුවට උපතින් ලැබුණු දෙයට සිනාවීම, සමච්චල් කිරීම, සමාජයෙන් කොන් කිරීම සිදුවන්නේ නම් ඒ සමාජය ඒ පුද්ගලයාටත් වඩා ගඳ ගහන පාපකාරී එකකි.

පුරුෂ නිමිත්ත හෝ ස්ත්‍රී නිමිත්ත හරිහැටි පිහිටන සමාජ ජීවීන් නපුංසකයනට හෝ ද්විලිංගිකයන්ට හිරිහැර කිරීම පාපයකි. මේ ද්විලිංගිකයා රාගම බැසිලිකා දෙව් මැදුරේ දෙව් මව් සෙවණේ ආදරය රැකවරණ ලබනුයේ මේ සමාජ විපරීතයන් නිසාය. මනුෂ්‍යත්වයට මනුෂ්‍යත්වයෙන් සැලකීම පිළිබඳ ආදර්ශයෙන් ඔද වැඩුණු එහි පරිපාලක ප්‍රීයා ජයමාන්න පියතුමා කරුණාබරව මට මෙසේ කීවේය.

“ලලිතා හරිම පුදුම චරිතයක්. ඇය පිරිමියකු කරන ඕනෑම දෙයක් කරන්ඩ සූදානම්. ඇයට පුරුෂ ලකුණු මෙන් ම ස්ත්‍රී ලකුණුත් පිහිටි බව දැනගත්තම ඇය සමාජයෙන් මෙන් ම එයාගේ ගෙදරිනුත් තරමක් ඈත් වුණා. උපතින්ම කතෝලික ඇය රැකවරණය ආදරය සොයා ආවෙ බැසිලිකා දෙව් මැදුරට. රාගම රෝහලේ වෛද්‍ය කණ්ඩායම, පොලිසියේ මහත්වරු හා නෝනාවරු ඇයගේ සෞඛ්‍ය හා ආරක්ෂාව බලනවා. අප උනන්දු විය යුත්තේ උපතින් අපට උරුම වූ මනුෂ්‍යත්වයට සලකන්න.” ඒ වචන මෙන් ම ක්‍රියාව ද සුන්දරය. මිනිස්කමින් පිරිපුන්ය.

කොල්ලා පුතා කියා කතා කරනවාට ඇය ඉතා කැමැතිය. ගස් නඟින්නට, කාර් යටින් රිංගන්නට, බඩ පිනුම් ගහන්නට කොටින් ම පිරිමි කරන ඕනෑම දෙයක් කරන්නට ද ඇය සූදානම්ය. මා ඇයට ඇය යන වචනය යොදන්නේ උප්පැන්නයේ නම අනුවය. ඇයගේ උප්පැන්නේ නම ලලිතා මාලනී ඩයස් යන්නය.

එහෙත් පිරිමි ලක්ෂණ බොහෝ සේ පළකරන ඇයට මම තවදුරටත් ලලිතා නොකියමි. මම “ලලිත් මෙහෙ වරෙන් කොලුවෝ” කියා කතා කළෙමි. ඒ දෑස් දීප්තිමත් විය. ඒ විස්මිත කතාව ශිෂ්ට ආකාරයෙන් ම ලියන්නට මම දැන් වෙහෙසෙමි.

ඒ අතර බැසිලිකා දෙව් මැදුරේ කොන්ත කඩේ (පූජා භාණ්ඩ විකුණන තැන) අවුරුදු 22 ක් වැඩ කරන කුමාරි ලලිත් ගේ යෙහෙළිය කී කතාව ද මගේ මතකයට එයි.

මෙයා කොණ්ඩය හුඟාක් දිගට තිබුණු ලස්සන කෙල්ලක්. ටිකින් ටික කොණ්ඩය කපලා ටී ෂර්ට් සරම් කමිස අඳින්ඩ පටන් ගත්තා. කිලෝ 42 ක බරක් අදත් එයාට උස්සන්ඩ පුළුවන්. බර වැඩ කරන්ඩ ආසයි. එහෙත් මෙයාට ස්ත්‍රී පුරුෂ ලක්ෂණ දෙකම තිබෙන නිසා අප ඒවායින් වළක්වනවා. ඉතාම දුර්ලභ කෙනෙක්. මා හිතන්නේ ලෝකයෙන්ම මේ වගේ අය හමුවෙලා නැති තරම්… ඇයගේ කතාවට විරාමය තබා මම ඇය‍ දෙස හැරෙමි. වචන පුරුද්දා ඒ කතාව ඔබට කියමි.

“රාගම උල්පතකුඹුර මගෙ ගම. අක්කලා තුන්දෙනෙකුයි අයියලා දෙන්නෙකුයි ඉන්න පවුලක මං බඩපිස්සිය හැටියට ඉපදුණා. අපේ පවුලට ගමේ යමක් කමක් තිබුණා. මගෙ උප්පැන්නෙ නම ලලිතා මාලනි ඩයස්. නියමිත වයසෙදි අම්මලා තාත්තලා මාවත් රාගම කනිටු විදුහලට දැම්මා. 8 වසර දක්වා මං ආසාවෙන් ඉස්කෝලෙ ගියා. මට මුලින් ම තිබුණේ ස්ත්‍රී ලක්ෂණ විතරයි. වෙන ගැහැණු ළමයින්ට වගෙ මගෙ පපුවත් නෙරලා ඉස්සරහට ආවත් වයස 13 – 14 වෙන කොටත් මං ලොකු ළමයෙක් වුණේ නෑ.

ඒ කාලෙදිම මගෙ අම්මත් මට නැති වුණා. තාත්තාත් ඊට ටික කාලයයි ජීවත් වුණේ. මං ලෝකෙ අසරණ වුණා. ඒත් තාත්තා අම්මා මහගෙදර මගෙ නමට ලියලා මැරුණා. අක්කලත් අයියලත් සමාජයෙ නොයෙක් වැදගත් තැන්වල නිසා ඒ අයටත් මාව තරමක ප්‍රශ්නයක් වුණා. මගෙ ද්විලිංගික බව මට මුලදි තේරුණේ නෑ. සාමාන්‍යයෙන් ගැහැනු ළමයකුගෙ තිබෙන විදියට ස්ත්‍රී නිමිත්ත තිබුණට මගෙ මුත්‍රා මාර්ගය වැහිලා ඒකෙන් මතු වුණේ පුංචි පුරුෂ ලිංගයක්.

මුත්‍රා බර එන විට එය ප්‍රාණවත් වී එළියට එනවා. ඒ කටයුතු අහවර වුණාම ආයිත් ඒක ස්ත්‍රී නිමිත්ත ඇතුළට යනවා. මේ ගැන බැරිම තැන ලොකු සහෝදරියන්ට විතරක් නොවේ සහෝදරයන්ටත් කිව්වා. ඒ අය ඒක ගණන් ගත්තෙ නෑ, මෙහෙම දෙයක් කවුරුවත් හිතන්නෙ නෑනේ. ඒ අය කීවේ නහරයක් එළියට එනවා ඇති කියලයි. මං උදේ හවා හිස ගිනි අරගෙන වගේ කල්පනා කළා මේ ලෝකෙ පුදුමාකාර කරුමක්කාරියක් නේද මං කියලා. දිගින් දිගටම මේක කියවනකොට ඒ අය මාව අල්ලගෙන ගිහින් රාගම රෝහලේ වාට්ටුවකට දැම්මා. එහෙත් දවසක් දෙකක් දොස්තරලා පරීක්ෂා කරනකොට මං එදා වාට්ටුවෙන් පැනලා දිව්වා. අද නම් ඒ අය දෙවිවරු වගේ.

කොල්ලො කරන හැම වැඩක්ම මට පුළුවන්. ඕනෑම බර වැඩක් කරන්ඩ, ගස් නගින්ඩ, උස තාප්පවලින් පනින්ඩ මාත් ආසයි. මං සරමක් ඇඳගෙන මගෙ දිග කොණ්ඩය කපලා දැම්මා. කොල්ලෙක් විදියට ම වැඩ කළා. ඒත් සමාජය වපරැහින් මා දිහා බලලා සරදමට හිනා වුණා. මට තිබුණු එකම සෙවණ පල්ලිය විතරයි. මං එතැනට දුවගෙන ඇවිත් ජේසු සමිඳාණන්ට මගෙ දුක කිව්වා. අනේ! මං වගෙ අය තවත් ලෝකෙට උපද්දන්ඩ එපා කියලා දෙවියන් වහන්සේට යාඥා කළා.

ඒ කාලෙ හිටපු ගොඩ්ප්‍රි පියතුමා මට කරුණාවෙන් කතා කළා. දරුවො, ඔයා දුර්ලභ කෙනෙක්. ඔයාගෙ වෛද්‍ය වාර්තා මං රෝහලෙන් ගෙන්වා ගත්තා. මේක දෙවියන් වහන්සේගේ කැමැත්ත – පුතා දේව මෑණියන් හමුවන ගමන් මොනවා හරි ඉගෙන ගන්ඩ… උන්වහන්සේ කිව්වා.

සමහරු මට නපුංසකයා, සමලිංගිකයා කීවා. හිනාවුණා. වැරැදි දේවල් කරන්ඩ ආවා. ටික කලක් යනකොට රාගම පොලිසිය පවා මාව දැනගත්තා. මට සැනසීම දුන්නෙ බැසිලිකා පල්ලියෙ කන්‍යා සොයුරියන් හා පියතුමන්ලා. ඒ අය දරුවෙක් වගෙ මා රැකබලා ගත්තා. අද ඉන්න පාලක ජයමාන්න පියතුමාත් කරුණාබරයි. මගෙ ජීවිතයේ දුක නැති වෙන්ට ජීවිතය කියා දුන්නෙ ගොඩ්ප්‍රි පියතුමා හා ජූඩ් කියන ෆාදර්.

මට ඕනෑම වැඩක් කරන්ඩ පුළුවන් හින්දා ගොඩ්ප්‍රි පියතුමා තමන්ගෙ වියදමින් ටිකට් හදවලා මාව ඩුබායි රටට ඇරියා. ඒ පිරිසුදු කරන්නියක් හැටියට. මෙහෙ මෙඩිකල්වලට අහුවුණෙ නැති වුණාට ඩුබායි රටේදි ඒ මෙඩිකල් කටයුතු කරපු ඉන්දියන් ඩොක්ටර් කෙනෙක් මගෙ ලෙඩේ හොයා ගත්තා. ඒක වුණෙත් මට ඉවසගන්ඩ බැරි බඩේ අමාරුවක් වරින්වර හැදෙනවා. ඒ මුත්‍රා මාර්ගය අවහිර නිසා. මුත්‍රා කරන්ඩ අමාරු වුණාම ඒ බාබා මාව රෝහලට දැම්මා.

ඉන්දියන් ඩොක්ටර් පුදුම වෙලා, මෙයා හරි දුර්ලභ කෙනෙක්. දෙකම තියෙනවා. මෙයාගේ ලේ පරීක්ෂා කරන්ඩ. මේ වගේ දේවල් කියලා ලංකාවෙ වෛද්‍ය සභාවටත් මා හිතන්නෙ ලියුමකුත් එව්වා. ඒත් එක්කම මා ආයිත් ලංකාවට එව්වා.

ඊට පස්සෙ රාගම රෝහලේ වෛද්‍යවරු රහසේ මාව පරීක්ෂා කළා. ඩොක්ටර් මානෙල් කුරේ මාව බැලුවා. ඩොක්ටර් රාජපක්ෂ මාව බැලුවා. තවත් රෝහලේ වෛද්‍යවරු සියලු දෙනා පරීක්ෂා කළා. ඒ වාර්තා ඉන්ටනෙට් හරහා ලෝකයට ගියා. ඒ රටවලත් දැන් මා ගැන පරීක්ෂණ.

එසේ කියා සිටින අතරතුර ලලිත් (අප ඇයට දුන් නම) හිටි පිනුමක් ගසා තමා කොල්ලෙක් බව අපට පෙන්වයි. ගසක් නගින්නට උත්සාහ කරයි. ඇගේ පිරිමියකු වීමේ දැඩි මානසිකත්වය හා ප්‍රයත්නය දුටු මම කම්පා වීමි. ඒත් ඇය පිරිමියකු ද නොවේ යැයි කාට කිව හැකි ද? ඇයට පුරුෂ ලිංගයක් ද තිබේ. මාපියෝ ඇයගේ බැංකු පොතේ රුපියල් ලක්ෂ 18 ක් ඉතිරි කැර තැබූහ. ගේ දොර පවා හිමිව තිබුණේ ඇයටය. ඒත් මේ කෲර සමාජය ඒවා බි‍ඳෙන් බිඳ ඇයගෙන් උදුරාගෙන තිබේ. පවුලේ ඇතැම් අය ද එහෙමය.

මං ඒවා කැමැත්තෙන් දුන්නෙ මහත්තයො. දැන් පොතෙත් තියෙන්නෙ ලක්ෂ 4 යි. ඒ මං මැරුණම ඒ කටයුතු කරන්ඩ කියලා බාල භාරකරුවෙක්ට පවරලයි.

කසාද බඳින්ඩ යෝජනා ආවෙ නැද්ද? මම කුහුලින් තවත් විස්තර විමසමි.

එතකොට මට අවුරුදු 22 ක් විතර ඇති. ලස්සන දිග කොණ්ඩයක් තිබුණා. මං ඒ කාලෙ ඇන්දෙ කාන්තා ඇඳුම්. මාව කසාද බන්දලා දෙන්න සහෝදර සහෝදරියොයි කටයුතු කළේ. මාව එක්කගෙන ගිය මනමාලයා එදා රාත්‍රියෙම පොලිසි ගියා. එයා පොලිසියෙ ලොකු මහත්මයාට කීවා නපුංසකයෙක් මට රවටලා දීලා. දික්කසාදය අවශ්‍යයි කියලා. ඊට පහුවදාම උසාවි. විශේෂ අවස්ථාවක් යටතේ විනිශ්චයකාරතුමා මගේ නඩුව අහලා ඔළුවෙ අත ගහගත්තා. අපි දන්නෙ නෑ මෙහෙම. වංචාවක් කළේ නෑ. මගෙ සහෝදරියොත් කීවා. ආයෙත් බඳින්ඩ බෑ. දික්කසාදය තීන්දුයි කියලා එවෙලෙ ම මනාලයාට තීන්දුව දුන්නා. තව ඩිංගෙන් මං හිරෙත් වැටෙනවා.

මට මේ දෙව් මව්තුරුල හරිම සතුටුයි. දෙවියන් වහන්සේ මාව ඉපැද්දුවෙ දේව මෙහෙයට සහාය වන්ඩ. මං හිත හදාගෙන ඒ ටික කරනවා. මේ ලිංග ප්‍රශ්නය මට ප්‍රශ්නයක් නොවෙයි. ඒත් සමාජයට ගෙවල්වලට මේක වධයක්. ඒ නිසා මං වගෙ කෙනෙක් ලෝකෙට උපද්දන්ඩ එපා කියලා මං දෙවියන්ගෙන් ඉල්ලනවා. ලබන ආත්මෙ මං ඔයා වගේ ම හොඳ පුරුෂයෙක්.

කතාවට තිත තබමින් ඇය එසේ කියද්දී මම ඇයට වෙනත් අයට මෙන් හැඟීම් ඇතිවන්නේ නැතිදැයි ඇසුවෙමි. මොකද නැත්තෙ, මටත් හැඟීම් තියෙනවා. ඇය කීවාය. ඇයව පල්ලියේදී සුරැකිව බලා ගැනීමට රාගම පොලිසියේ නිලධරයකු ද සිටී. ඔහුගේ නම අමරසේනඅය. ඔහු කී කතාවද අපූරුය.

මෙයා හරිම දඟයි. දැන් කියලා කියලා ම හදාගෙන ඉන්නෙ. පිරිමියකු වගේ වැඩ කරනවා. ඒ වගේ ම පාන් එක හමාරක් විතර උදේට විතරක් ඕනෑ. දවල්ටත් හොඳට කන්ඩ ඕනෑ. හිස් අහසට අත් ඔසවා හඬන දරුවකු මෙන් ඇය ලෝකයෙන් මිනිස්කම ද දෙවියන්ගෙන් පිරිමිකම ද ඉල්ලා සිටී. ජීවිතය සුන්දරය. එහෙත් ඒ සුන්දරතා අස්සේ මෙවන් දුෂ්කර ප්‍රහේලිකා ද තිබේ.
( Sri Lankan Doublesex Articles under the courtesy of lankacnews news web)

NO COMMENTS

LEAVE A REPLY